දම්රෝ සමූහය සුඛෝපභෝගී හෝටලයක් සඳහා BOI සමගින් එකඟතාවක

මෙරට ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමාගමක් වන දම්රෝ සමූහය කොළඹ 03 ප්‍රදේශය තුළ ඉදිකරන සිය නවතම සුඛෝපභෝගී හෝටලයක් සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) සමගින් එකඟතාවකට පැමිණ ඇතැයි වාර්තා වෙයි.

මේ සඳහා වන ආයෝජන එකඟතාවට අත්සන් තැබීම පසුගියදා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා හා අධ්‍යක්ෂ ජනරාල්වරිය සහ දම්රෝ සමූහයේ ප්‍රධානීන් අතර සිදුව තිබේ.

මෙහිදී දම්රෝ සමාගමේ දම්රෝ ලෙෂර් පෞද් සමාගම හරහා මෙම ආයෝජනය සිදු කෙරෙන අතර, කාමර 366 කින් සමන්විත හෝටලයක් ඉදිකිරීම සැලසුම වී තිබේ.

දම්රෝ සමූහය මෙම ව්‍යාපෘතිය සඳහා ආයෝජනයට සූදානම් වන මුදල එක්සත් ජනපද ඩොලර් මිලියන 57.50කි.

මේ අතර පුවත් වාර්තා සඳහන් කළ ආකරයට පසුගිය පෙබරවාරි මාසයේදීද දම්රෝ සමූහය වෙත කොළඹ නගරය තුළ සුඛෝපභෝගී නාගරික හෝටලයක් ඉදිකිරිම සඳහා වන කැබිනට් අනුමැතියද හිමි විය. එහිදී එම ව්‍යාපෘතියේ ආයෝජනය ඩොලර් මිලියන 70.4ක් ලෙස සටහන් විය. එහෙත් BOI සමගින් සිදු වුණු මෙම අලුත්ම ගිවිසුම් ගතවීම එම ව්‍යාපෘතිය දැයි මෙතෙක් පැහැදිලිව සඳහන්ව නැත.

දැනටමත් දම්රෝ සමූහය කොළඹ 03 ආශ්‍රිතව Marino Beach නමින් සුඛෝපභෝගී හෝටලයක් පවත්වාගෙන යන අතර, කාමර 300කින් සමන්විත එය 2018 වසරේදී විවෘත විය.

Visits: 138