ජූලි මාසයේදී වෙළෙඳ ශේෂය ඩොලර් මිලියන 123ක් දක්වා අඩු වෙයි

2022 ජූලි මාසයේදී මෙරට වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 1,164ක් ලෙස පසුගිය වසරේ ජූලි මාසයට සාපේක්ෂව 5.4%ක වර්ධනයක් පෙන්නුම් කර ඇතැයි මහ බැංකුව පවසයි. එසේම වෙළෙඳ භාණ්ඩ ආනයන වියදම එක්සත් ජනපද ඩොලර් මිලියන 1,287ක් ලෙස පසුගිය වසරේ ජූලි මාසයට සාපේක්ෂව 24.8ක පසු බැසීමක් පෙන්නුම් කර තිබේ.

ශ්‍රී ලංකා රේගුව සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය නිකුත් කළ දත්ත අනුව 2022 ජූලි මාසයේදී විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වයේ සාරාංශය පිළිබඳ වාර්තාව ඉදිරිපත් කරමින් මහ බැංකුව මේ බව පවසයි.

ඒ අනුව මේ තත්ත්වයත් සමගින්ම 2022 ජූලි මාසයේදී මෙරට අපනයන ආදායම සහ ආනයන වියදම අතර පරතරය හෙවත් වෙළෙඳ ශේෂය එක්සත් ජනපද ඩොලර් මිලියන 123ක් ලෙස සටහන්ව ඇති අතර එය පසුගිය වසරේ ජූලි මාසයේදී වාර්තා කළ ඩොලර් මිලියන 606ක වෙළෙඳ ශේෂය හා සැසඳීමේදී වෙළෙඳ ශේෂයේ කැපී පෙනෙන අඩුවීමකි.

මේ අතර වසරේ ජනවාරි මාසයේ සිට ජූලි මාසය දක්වා කාලය තුළ මෙරට වෙළෙඳ භාණ්ඩඅපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 7,678ක් ලෙස සටහන්ව ඇති අතර, එය 2021 වසරේ ජනවාරි සිට ජූලි දක්වා කාලය තුළ වාර්තා කළ අපනයන ආදායම හා සැසඳීමේදී 12.9%ක වර්ධනයකි.

එහිදී මූලිකවම රෙදිපිළි සහ ඇඟලුම් අපනයනය ඩොලර් මිලියන 587.2කින්ද, ඛනිජතෙල් නිෂ්පාදන ඩොලර් මිලියන 128.9කින්ද, මැණික්,දියමන්ති සහ ස්වර්ණාභරණ ඩොලර් මිලියන 78.8කින්ද ඉහළ ගොස් ඇත.

එසේම 2022 වසරේ එම කාලසීමාව තුළ වෙළෙඳ භාණ්ඩ ආනයන වියදම එක්සත් ජනපද ඩොලර් මිලියන 11,315ක් ලෙස සටහන්ව ඇති අතර එය පසුගියවසරේ එම කාලසීමාවේදී ආනයන වියදම වූ ඩොලර් මිලියන 11,725 හා සැසඳීමේදී 3.5%ක පසු බැසීමකි.

එහිදී මූලිකවම ප්‍රවාහන උපකරණ ඩොලර් මිලියන 119.4කින්ද, බෙහෙත් හා ඖෂධීය නිෂ්පාදන ඩොලර් මිලියන 132.6 කින්ද, විදුලි සංදේශ මෙවලම් ඩොලර් මිලියන 201.7 කින්ද, මූල ලෝහ ආනයන ඩොලර් මිලියන 202.4කින්ද, යන්ත්‍ර සූත්‍ර හා උපකරණ ආනයනය ඩොලර් මිලියන 272.2කින්ද පහළ වැටී තිබේ.

Visits: 68