කෙල්සි ඩිවලොප්මන්ට්ස් පීඑල්සීහි 85.24%ක් ප්‍රකාශ් සහ රමේෂ් ෂාෆ්ටර් සහෝදරයන් අතට

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත කෙල්සි ඩිවලොප්මන්ට්ම් පීඑල්සී සමාගමෙහි මව් සමාගම වන ජනශක්ති ලිමිටඩ් සතුව තිබූ කොටස් 14,856,878ක් එම සමාගම අයත් ෂාෆ්ටර් පවුලේ ප්‍රකාශ් ෂාෆ්ටර් සහ රමේෂ් ෂාෆ්ටර් දෙපළ වෙත අලෙවි කළ බව එම සමාගම පවසයි.

මෙහිදී අලෙවි කර ඇති කොටස් ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස 85.24%ක් වන අතර එම කොටස් සම සමව හිමිවන ආකාරයට බෙදීම සිදුව තිබේ.

ජනශක්ති සමූහයේ අභ්‍යන්තර ශේෂපත්‍රය යළි සකස් කිරීම අරමුණු කරගනිමින් මෙම පියවර ගත් බව පවසයි.

ඒ අනුව මෙම කොටස් අතරින් 7,428,393ක් එනම් 42.62%ක ප්‍රතිශතයක් ප්‍රකාශ් ෂාෆ්ටර් මහතා වෙත අලෙවි කර තිබේ. එහිදී කොටසක් රුපියල් 24.60ක් ලෙස මිල කෙරී ඇති අතර, එම අලෙවියේ වටිනාකම රුපියල් මිලියන 182.75කි.

එසේම සමස්ත කොටස් අතරින් ඉතිරි කොටස් 7,428,393ක් එනම් 42.62%ක ප්‍රතිශතයක් එම මුදලටම රමේෂ් ෂාෆ්ටර් වෙත අලෙවි කර ඇති අතර, එම ගනුදෙනුවේ වටිනාකමද රුපියල් මිලියන 182.75කි.

පසුගිය ජූලි මාසයේදී නිකුත් කෙරුණු කෙල්සි ඩිවලොප්මන්ට්ස් පීඑල්සී සමාගමෙහි 2021/22 මූල්‍ය වාර්තාවට අනුව, 2022 මාර්තු 31 වැනිදා වන විට එම සමාගමෙහි කොටස් අතරින් 13,986,787ක් (80.25%ක්) ජනශක්ති ලිමිටඩ් වෙත හිමිව තිබූ අතර, තවත් කොටස් 870,000ක් (4.99%ක්) කොමර්ෂල් බැංකුව සහ ජනශක්ති ලිමිටඩ් හවුල් ගිණුමක් වෙත හිමිව තිබුණි.

වර්තමානයේදී ජනශක්ති ලිමිටඩ් සමාගමේ 100%ක කොටස් හිමිකාරීත්වයක් ඇත්තේද මෙම දෙපළ වෙත වන අතර, ෂාෆ්ටර්ස් (පෞද්) සමාගම යටතේ එම හිමිකම පවතී.

ඒ අනුව මෙම අලෙවි කිරීම හෝ මිලදී ගැනීම කිසිලෙසකින්වත් මිලදී ගැනීම් හෝ ඒකාබද්ධ කිරීමක් ලෙස නොසැලකෙනු ඇති බවත්, කෙල්සි ඩිවලොප්මන්ට්ස් පීඑල්සීහි අධ්‍යක්ෂ මණ්ඩලය සහ එහි දැනට පවතින ව්‍යාපාරික මෙහෙයුම් සහ එහි පරිපාලිත සමාගම් කිසිදු වෙනසකින් තොරව එලෙසින්ම පවතිනු ඇති බවත් සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

Visits: 120