ඉන්දුනීසියාවේ පැවති හලාල් කර්මාන්තය පිළිබඳ විශාලතම ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාවත් සහභාගී වේ

ඉන්දුනීසියාවේ ටැන්ගෙරන්ග්හි පිහිටි Indonesia Convention Exhibition (ICE) BSD හිදී පසුගිය අගෝස්තු 26 සිට 28 දක්වා පැවැත්වුණු “Muslim Life Trade 2022” ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සමාගම් තුනක් සහභාගි වූ බව එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

ඒ අනුව ජකර්තා නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් ස්ථාපිත කරන ලද ප්‍රදර්ශන කුටියක් හරහා පී.ටී. එක්ස්පෝ ෆ්‍රෙයිට් – ඊ.එෆ්.එල්. (PT Expo Freight-EFL), පී.ටී. ඇඩ්වාන්ටිස් අකාසා (PT Advantis Akaza), සහ හේලීස් ඇවෙන්චුරා (පුද්) සමාගම (Hayleys Aventura) යන ශ්‍රී ලාංකික සමාගම් තුන සඳහා අවස්ථාව හිමිවූ බව සඳහන් වෙයි.

මෙම “Muslim Life Trade 2022” වෙළෙඳ ප්‍රදර්ශනය යනු යනු ඉන්දුනීසියාවේ ඉස්ලාමීය හා හලාල් කර්මාන්තය පිළිබඳ විශාලතම ව්‍යාපාරාන්තර ප්‍රදර්ශනයයි. මෙම ප්‍රදර්ශනය ඉන්දුනීසියානු ඉස්ලාමීය ව්‍යාපාර සහ ව්‍යවසායක ප්‍රජාව (KPMI) සහ පී.ටී. ලීමා ඉවෙන්ට් ඉන්දුනීසියා හි (PT LIMA Event Indonesia) සහයෝගයෙන් සහ සංවිධානත්වයෙන් පැවැත් වී තිබේ.

ඊජිප්තුව, ඉරානය, ජපානය, මැලේසියාව, ශ්‍රී ලංකාව, තායිලන්තය සහ ටියුනීසියාව යන රටවල ජාත්‍යන්තර ප්‍රදර්ශකකරුවන් ඇතුළු ප්‍රදර්ශකකරුවන් 300 දෙනෙකු මෙම ප්‍රදර්ශනයට සහභාගී වී තිබේ. එසේම මෙම ප්‍රදර්ශනය නැරඹීම සඳහා 42,000කට අධික පිරිසක් පැමිණ ඇතැයි සංවිධායකයෝ පවසති..

මෙහිදි ශ්‍රී ලංකාව නියෝජනය කළ පී.ටී. එක්ස්පෝ ෆ්‍රෙයිට් – ඊ.එෆ්.එල්. (PT Expo Freight-EFL), පී.ටී. ඇඩ්වාන්ටිස් අකාසා (PT Advantis Akaza) යන සමාගම් සිය මෙහෙයුම් සේවා ප්‍රවර්ධනය කළ අතර, හේලීස් ඇවෙන්චුරා (පුද්) සමාගම (Hayleys Aventura) සිය කාර්මික නිෂ්පාදන ප්‍රවර්ධනය කර ඇත.

මෙම ප්‍රදර්ශනය හරහා ව්‍යාපාරික සබඳතා රැසක් නිර්මාණය කරගැනීමට අවස්ථාවක් හිමි වූ බැවින්, මෙම ප්‍රදර්ශනය තුළ තම සහභාගීත්වය සාර්ථක වූ බව මෙම සමාගම් සඳහන් කළ සිටි බවත් තානාපති කාර්යාලය පවසයි.

Visits: 45