UDA නිවාස ඩොලර් ගෙවා මිලදී ගන්නන්ට 10%ක වට්ටමක්

නාගරික සංවර්ධන අධිකාරිය (UDA) විසින් ඉදි කරන ලද මධ්‍යම ආදායම් නිවාස ව්‍යාපෘතිවල නිවාස ඩොලර් මගින් මිල දි ගන්නා අයට 10%ක් වට්ටමක් ලබාදීමට තීරණය කර ඇතැයි නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශය පවසයි.

මෙහිදී විදෙස්ගත ලාංකිකයන් සහ ශ්‍රමිකයන් සදහා මෙම නිවාස ඩොලර් මගින් මිල දි ගැනීමට අවශ්‍ය පහසුකම් මේ වන විට සලසා ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කර සිටියි.

රටේ පවතින ඩොලර් අර්බුදයට පිළියමක් ලෙස මෙම නව ක්‍රමවේදය හදුන්වාදී තිබේ.

නාගරික සංවර්ධන උධිකාරිය මගින් ක්‍රියාත්මක කරන මධ්‍යම ආදායම් නිවාස ව්‍යාපෘති දෙකක් මේ වන විට අවසන් කර තිබේ. එලෙස අවසන් කෙරුණු බොරැල්ල ඕවල් වීව් නිවාස ව්‍යාපෘතිය නිවාස ඒකක 608 කින් සමන්විත අතර, අංගොඩ ලේක් රෙස්ට් ව්‍යාපෘතිය නිවාස ඒකක 500 කින් සමන්විතයි.

මීට අමතරව තවත් මධ්‍යම ආදායම් නිවාස ව්‍යාපෘති 12 ක් ඉදිකෙරෙමින් පවතී. එමගින් සපුරාලන නිවාස අවශ්‍යතාව නිවාස ඒකක 3,667 කි. මෙම නිවාස විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් හා ශ්‍රමිකයන්ට ඩොලර් මගින්  මිල දී ගැනීමේ පහසුකම් සැලසීම සදහා නාගරික සංවර්ධන අධිකාරියේ කළමණාකරණ මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

එසේම විධිමත් ආකාරයට බැංකු මගින් විදෙස් මුදල් ප්‍රේෂණය කර ඇති විදෙස් ගත ශ්‍රමිකයන්ට මෙම නිවාස ඩොලර් මගින් ලබා ගැනීමේ දි ප්‍රමුඛතාව ලබාදීම පිළිබදව ද අවධානය යොමු වී ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් සදහන් කරයි.

Visits: 120