සෙලින්කෝ ලයිෆ් සමාගම කිංග්ස් රෝහලේ කොටස් මිලදී ගැනීමක

සෙලින්කෝ ලයිෆ් සමාගම අති නවීන පුද්ගලික රෝහලක් වන Kings Hospital (Private) Ltd සමාගමේ විශාල කොටස් ප‍්‍රමාණයක ආයෝජනය කරමින් ආකර්ශනීය ව්‍යාපාරික ඒකාබද්ධතාවයකට පැමිණ තිබේ.

මෙම අයෝජනයත් සමග සමාගම සතු සෞඛ්‍ය අංශයේ කොටස කැපී පෙනෙන ලෙස ඉහළ යන අතර සමාගමේ ආයෝජන කළඹ වඩාත් විවිධාංගීකරණය වන බව සෙලින්කෝ ලයිෆ් සඳහන් කරයි.

ඇඳන් 120 කින් සමන්විත මෙම රෝහලේ කොටස් මිලදී ගනිමින් සිදුකළ මෙම උපායමාර්ගික ආයෝජනය ඉදිරියේදී අවශ්‍ය වුවහොත් තවදුරටත් පුළුල් කිරීමට අවකාශය තිබෙන බව සමාගම පවසයි. 

මෙම ආයෝජනයත් සමග කිංග්ස් රෝහලේ අධ්‍යක්ෂ මණ්ඩලයට සමාගම සතු කොටස් ප‍්‍රමාණය අනුව සෙලින්කෝ ලයිෆ් සාමාජිකයින් ඉදිරියේදී පත්කරන අතර ඔවුන් විසින් මෙම රෝහලේ ඉදිරි අදියරේ වර්ධනය උත්තේජනය කරනු ඇත. සෙලින්කෝ ලයිෆ් සහ කිංග්ස් අතර ඇතිවී තිබෙන මෙම ව්‍යාපාරික ඒකාබද්ධතාවය තුළින් සියළුම පාර්ශවකරුවන්ගේ ප‍්‍රතිලාභ වර්ධනය වනු ඇති බව ද සෙලින්කෝ ලයිෆ් ප‍්‍රකාශ කරයි.  

සෙලින්කෝ ලයිෆ් සමාගම ශ‍්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ වෙළෙඳපොළ ප‍්‍රමුඛයා වන අතර මේ වනවිටත් දේශීය සෞඛ්‍ය අංශයේ ප‍්‍රමුඛ සමාගමක් ලෙස කටයුතු කරයි. සමාගමට පූර්ණ වශයෙන් අයත් සෙලින්කෝ හෙල්ත්කෙයා සර්විසස් ලිමිටඞ් (CHSL) පිළිකා සඳහා ප‍්‍රතිකාර කිරීමට ශ‍්‍රී ලංකාවේ පළමු පුද්ගලික අංශයේ විකිරණ ප‍්‍රතිකාර මධ්‍යස්ථානය ආරම්භ කළ අතර ලංකාවේ පළමු ලීනියර් ඇක්සලරේටර් යන්ත‍්‍රය සහ ටොමෝ තෙරපි ඒකකය ස්ථාපිත කරන ලදී. මේ වනවිටත් ශ‍්‍රී ලංකාවේ පවතින එකම ටෝමෝ තෙරපි ප‍්‍රතිකාර මධ්‍යස්ථානය වන්නේ මෙයයි. මීට අමතරව, සෙලින්කෝ ලයිෆ් විසින් ගෝල්ඩන් කී ඇස් සහ උගුර, කන, නාසය පිළිබඳ රෝහලද කළමනාකරණය කරයි.  

සමාගම අවතීර්ණ වී තිබෙන මෙම නවතම සංධිස්ථානය පිළිබඳව සෙලින්කෝ ලයිෆ් සමාගමේ සභාපති, රාජ්කුමාර් රෙන්ගනාදන් මහතා මෙසේ අදහස් දැක්වීය. ‘ගෝලීය වශයෙන් ජීවිත රක්ෂණ සහ සෞඛ්‍ය සේවා දායකයින් උපායමාර්ගික ඒකාබද්ධතාවයන්ට එක්වී ප‍්‍රතිලාභ වර්ධනය කර ගනිමින් සිටිනවා. මෙම උපායමාර්ගික ආයෝජනය මගින් සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පුහිමියන් ඇතුළු සියළුම පාර්ශවකරුවන්ට අමතර වටිනාකමක් ලැබෙනවා.  කිංග්ස් රෝහලේ කොටස්වල සෙලින්කෝ ලයිෆ් ආයෝජනය කිරීම මගින් පෙන්නුම් කරන්නේ සෞඛ්‍ය අංශයේ සමාගමේ දායකත්වය වැඩිකර ගනිමින් මෙරට ජනතාවට ප‍්‍රතිලාභ ලබාදීමට සමාගම සතු විශාල බලාපොරොත්තුව සහ සමාගමේ ආයෝජන උපායමාර්ගයයි.’   යනුවෙන් පවසයි.

මෙම ඒකාබද්ධතාවය පිළිබඳව අදහස් දක්වමින් කිංග්ස් රෝහලේ සභාපති, වෛද්‍ය පාලිත අබේකෝන් මහතා ‘අපගේ රෝහලේ ප‍්‍රධාන පාර්ශවකරුවෙකු ලෙස සෙලින්කෝ ලයිෆ් සමාගම පැමිණීම පිළිබඳව අපි අතිශය සතුටට පත්වෙනවා. අපගේ ඊළඟ අදියරේ සංවර්ධනය වෙනුවෙන් සමාගමේ කළමනාකාරීත්ව කණ්ඩායම සමග ඉතාමත් සමීපව අපි කටයුතු කරනවා. සෙලින්කෝ ලයිෆ් සමාගම සතු ඉහළ පළපුරුද්ද සහ විශේෂඥතාවය තුළින් ප‍්‍රතිලාභ රැසක් අත්කර ගැනීමට හැකිවනු ඇතැයි අපි විශ්වාස කරනවා. මේ තුළින් අපගේ හැකියාවන් අලෙවිකරණය කරමින් ශක්තිමත් සන්නාමයක් ගොඩනගා ගැනීමට හැකිවනු ඇතැයි අපි විශ්වාස කරනවා.” යනුවෙන් පවසයි.

කොළඹ නාරාහේන්පිට පිහිටි අති නවීන පහසුකම් වලින් සමන්විත කිංග්ස් රෝහල කීර්තිමත් වෛද්‍යවරුන් කණ්ඩායමක් ඇතුළත් වන ව්‍යාපාරික සන්ධානයකින් ආරම්භ කළ අතර මෙරට කීර්තිමත් වෛද්‍ය විශේෂඥයින්, රෝහල ආරම්භ කළ වෛද්‍යවරුන් සහ පුහුණු හෙද කණ්ඩායමක් මෙහිදී ජනතාවට සේවය ලබාදෙයි.

2017 මාර්තු මාසයේදී Oasis රෝහල මිලදීගනිමින් මෙම රෝහල ආරම්භ කළ අතර මෙම රෝහල් ගොඩනැගිල්ල රෝහලක් සඳහාම වන අති නවීන පහසුකම් වලින් යුක්තව ඉදිකර තිබේ.

2019 අගෝස්තු මාසයේදී මහජනතාව වෙනුවෙන් විවෘත කළ මෙම රෝහලෙහි මොඩියුලර් ශල්‍යාගාර 11 ක් පිහිටා තිබෙන අතර මෙය මේ වනවිට ශ‍්‍රි ලංකාවේ පිහිටි විශාලතම ශල්‍ය පහසුකම් වලින් එකකි.

Visits: 116