ණයකරුවන් සහ ණයහිමිකරුවන් ආරක්ෂා කරන මොකක්ද මේ පැරිස් සමාජය?

ශ්‍රී ලංකාව විසින් ගෙවිය යුතුව ඇති ණය සම්බන්ධයෙන් එම ණය හිමිකාරීත්වය සහිත රාජ්‍යයන් සමගින් සාකච්ඡා කිරීමට සූදානම් බවට ණය හිමිකරුවන්ගෙන් සමන්විත Paris Club හෙවත් පැරිස් සමාජය (Club de Paris)  පසුගියදා නිවේදනය කර තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමගින් ශ්‍රී ලංකාව ඇති කරගෙන තිබෙන කාර්ය මණ්ඩල එකඟතාව යටතේ ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ ණය පහසුකමත් (EFF) සමගින්ම එම සමාජය මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව ශ්‍රී ලංකාව සඳහා ණය සහන ක්‍රියාවලිය ආරම්භ කිරීමටත්, ඒ සඳහා වන පිළියම් පටිපාටියක් ආරම්භ කිරීම සහ ඊට අදාළ වන මූල්‍ය රක්ෂණ සැපයිම සහ මූල්‍ය සහතික නිකුත් කිරීම ඇතුළුව අනෙකුත් සම්බන්ධීකරණ කටයුතු සඳහා සිය සමාජය කැමැත්ත පළ කර තිබෙන බව පැරිස් සමාජය පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණි.

1956 වසරේදී පිහිටුවුණු මෙම පැරිස් සමාජය හෙවත් Paris Club හි මූලස්ථානය පිහිටා ඇත්තේ ප්‍රංශයේ පැරිස් නුවර බර්සි හි පිහිටි ප්‍රංශ මුදල් අමාත්‍යාංශයේහිදීය. එහි හමු සංවිධානය වන්නේද එම අමාත්‍යාංශයේදීය. සිය ණය ආපසු ගෙවීම සඳහා අපහසුතා පවතින සංවර්ධනය වෙමින් පවතින රටවලවට අවශ්‍ය එකඟතා ඇති කරගැනීම සඳහා පහසුකම් සැලසීම මෙම පැරිස් සමාජයේ මූලික අරමුණු වෙයි.

මෙම සමාජය මූලිකවම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව සමගින් සම්බන්ධව කටයුතු කරන ආයතනයකි. මේ හරහා ලොව සංවර්ධනය වෙමින් පවතින රටවලට සිය ණය ආපසු ගෙවීම සඳහා අවශ්‍ය උපකාරය සැලසීම මෙන්ම ණයහිමිකාරීත්වය සහිත සංවර්ධිත රටවලටත් ලෝක ආර්ථිකය හොඳින් පවත්වාගෙන යාමට අවශ්‍ය සහයෝගය ලබා දෙයි.

වර්තමානයේදී මෙම පැරිස් සමාජය තුළ සාමාජිකත්වය ලබා ගත් රාජ්‍යයන් සංඛ්‍යාව 23කි. ඒ අනුව ඉංග්‍රීසි අකාරාදි පිළිවෙලට එම රාජ්‍යයන් වන්නේ ඔස්ට්‍රේලියාව, ඔස්ට්‍රියාව, බෙල්ජියම, බ්‍රසීලය, කැනඩාව, ඩෙන්මාර්කය, ෆින්ලන්තය, ප්‍රංශය, ජර්මනිය, අයර්ලන්තය, ඉන්දියාව, ඊශ්‍රායලය, ඉතාලිය, ජපානය, නෙදර්ලන්තය, නෝර්වේ, රුසියාව, දකුණු කොරියාව. ස්පාඤ්ඤය, ස්වීඩනය, ස්විස්ටර්ලන්තය, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදයයි. ඉන්දියාව 2019 වසරේ සිට මෙම සමාජයේ නිරීක්ෂණ රාජ්‍යයක් ලෙස කටයුතු කරයි.

දැනට වසර 66 කට පෙරාතුව 1956 වසරේදී මෙම පැරිස් සමාජය පිහිටුවීම සඳහා මූලිකම හේතුව වූයේ ආර්ජන්ටියානු ජනාධිපතිවරයා වූ ජුආන් ඩොමින්ගෝ, 1955දී හමුදා කුමන්ත්‍රණයක් හරහා බලයෙන් පහ කිරීමෙන් අනතුරුව එරට ණය සම්බන්ධයෙන් උද්ගතවූ තත්ත්වයයි. ඒ අනුව බලයට පත් වූ නව රජය මෙම ජාත්‍යන්තර ණය හිමිකරුවන්ගේ ණය ආපසු ගෙවීම සම්බන්ධයෙන් යම් සහනයක් බලාපොරොත්තු වූ අතර, එහිදී ඔවුන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවෙහි සාමාජිකත්වය සඳහාද ඉල්ලුම් කළේය.

ඒ අනුව ආර්ජන්ටිනාවේ ණයබරතාව සම්බන්ධයෙන් සහ ඔවුන්ගේ ප්‍රධානතම ණයහිමිකාර රාජ්‍යයන් අතර හමුවක් 1956 මැයි 16 වැනිදා පැරිසියේදී පැවැත්වුණු අතර, ඊට මැදිහත් වූයේ එවකට සිටි ප්‍රංශ ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යවරයාය. ඒ අනුව මෙම හමුවත් සමගින්ම ප්‍රංශ සමාජය නමින් පනතක්ද සම්මත විය. මෙහි ආරම්භක ණයහිමි රාජ්‍යයන් සංඛ්‍යාව 11ක් විය.

මෙම පැරිස් සමාජය පිහිටුවුණු 1956 වසරේ සිට 1980 දක්වා කාලය තුළදී එහි මැදිහත්වීමෙන් එකඟතා 30ක් අත්සන් තැබීම සිදු කර තිබේ. එහෙත් 1981 සිට 2008 දක්වා කාලය තුළදී ලොව ණයකාර රාජ්‍යයන් 83කින් ඉදිරිපත් වූ එකඟතා 373ක් වෙත පිවිසීම සිදුව තිබේ. ඒ අනුව මේ දක්වා ලොව රටවල් 90කට ආසන්න සංඛ්‍යාවකින් ඉදිරිපත් වු එකඟතා 433ක් අත්සන් තැබීමට මෙම පැරිස් සමාජය කටයුතු කර ඇති අතර, එහිදී ඩොලර් බිලියන 583ක් වටිනා ණය කපා දැමීම හෝ ප්‍රතිස්ථාපනය කිරීම හෝ සිදු කර තිබේ.

මෙම පැරිස් සමාජය මගින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයේදී ඔවුන් ශ්‍රී ලංකාවේ ණයහිමිකාරීත්වය සම්බන්ධයෙන් මෙම පැරිස් සමාජයට අයත් නොවන ද්විපාර්ශ්වික ණය හිමිකරුවන් සමගින්ද සම්බන්ධීකරණයක් පවත්වා ගෙන යමින් ඒ සඳහා වන යම් කිසි මූල්‍යමය රැකවරණයක් සැපයීමටද කටයුතු කරන බව සඳහන් කර තිබේ.

මෙම පැරිසි සමාජයේ ණයහිමිකාරීත්වය සහිත රාජ්‍යයන් සෑම වසරකදීම 10 වතාවක් එකිනෙකා හමුවීම සිදු කරයි. එහිදී එම රටවල් ණයකාර රාජ්‍යයන්හි ණය තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වයි. එසේම ණයකාර රාජ්‍යයන් එකක හෝ දෙකක එකඟතාවන් සම්බන්ධයෙන් වන සැසිවාරද මේ අතරතුරදී පැවැත්වෙයි.

ඒ අනුව සිය ණය ආපසු ගෙවීම සම්බන්ධයෙන් යම් ගැටලුකාරී තත්ත්වයක් පවතින බවට පෙන්නුම් කරමින්, එම ණය ආපසු ගෙවීම සම්බන්ධයෙන් යම් නැවත එකඟතාවකට පත්වීමක් පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් පිළිගත් වැඩසටහනක් සඳහා අවසන් එකඟතාවකට පත්වන යම් කිසි ණයකාර රාජ්‍යයක් වෙත සිය පැරිස් සමාජයේ සාමාජික ණයහිමිකාරුවන් සමගින් එකඟතාවකට පත්වීම සඳහා වන සාකච්ඡාවකුවෙන් ආරාධනා කිරීමක් සිදු කරයි.

එහිදී මූලිකවම මෙම පැරිස් සමාජය එම ණයකාර රාජයයන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමගින් වන එකඟතාවක් වෙත අනිවාර්යය අවධානය යොමු කර ඇත්තේ, අදාළ රාජ්‍යයන් සිය ඉදිරි මූල්‍යමය අපහසුතාවන්ට ලක්වීම අවම කිරීම සඳහා වන සාර්ව ආර්ථික ක්‍රියාරාමු පිහිටුවීම සඳහා වන ප්‍රතිපත්තිමය ප්‍රතිසංස්කරණ සිදු කිරීමේ අවශ්‍යතාව හේතුවෙනි.

Visits: 116