RESUS Energy හි මුදල් සහ කොටස් ලාභාංශ නිවේදනයත් සමග කොටසක අගය 5.63%කින් ඉහළට

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත පුනර්ජනනීය බලශක්ති උත්පාදන සමාගමක් වන RESUS Energy PLC සමාගම (HPWR.N0000) සිය කොටස්හිමිකරුවන් සඳහා මුදල් ලාභාංශ මෙන්ම කොටස් ලාභාංශද ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි.

ඒ අනුව මෙහිදී සමාගම මගින් මෙතෙක් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් ශත 55ක් බැගින් මුදල් ලාභාංශ ගෙවීම සිදු කරන බවත්, රුපියල් 2.45ක් වටිනා කොටස් ලාභාංශ ගෙවීමක් සිදු කරන බවත් සමාගම සඳහන් කරයි. මෙහිදී කොටස්හිමිකරුවෙකුට හිමිවන සමස්ත ලාභාංශ වටිනාකම රුපියල් 3.00කි.

මෙය 2023 මාර්තු 31 වැනිදායින් අවසන්වීමට නියමිතව ඇති 2022/23 මූල්‍ය වර්ෂය සඳහා ලබාදෙන පළමු අතරමැදි ලාභාංශ ගෙවීමක් බවද සමාගම පවසයි.

මේ අතරින් මුදල් ලාභාංශ ගෙවන දිනය ලෙස සැප්තැම්බර් 30 වැනිදා ප්‍රකාශ කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) දිනය ලෙස සැප්තැම්බර් 13 වැනිදා නම් කෙරී තිබේ.

මෙම මුදල් ලාභාංශ හෝ කොටස් ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් කොටස්හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍යව නොමැති බවත් RESUS Energy PLC සමාගම පවසයි.

මේ අතර RESUS Energy PLC සමාගම සිය කොටස් හිමිකරුවන් සඳහා ලබා දෙන කොටස් ලාභාංශ යටතේ ඡන්ද හිමි සහ නිෂ්ඡන්ද කොටස් හිමිකරුවන් දෙපිරිසටම එය හිමි වන බව පවසයි.

ඒ අනුව ඡන්ද හිමි කොටස් 7,155,399 ක් නිකුත් කිරීම සැලසුම වී තිබේ. එය මෙතෙක් සමාගම මගින් නිකුත් කර ඇති කොටස් 11.0448984 ක් සඳහා අලුතින් එක් කොටසක් හිමිවන ආකාරයෙනි. දැනට RESUS Energy PLC සමාගම මගින් නිකුත් කර ඇති සාමාන්‍යඡන්ද හිමි කොටස් සංඛ්‍යාව 79,030,655ක් වෙයි. එසේම සමාගමේ වත්මන් ප්‍රකාශිත ප්‍රාග්ධනය රුපියල් 773,891,366.00 ක් ලෙස සටහන්ව ඇත.

මෙම නිකුතුවේදී කොටසක බරිත සාමාන්‍ය මිල රුපියල් 27.06ක් ලෙස ගණන් බලා ඇති අතර, ඒ හරහා ප්‍රාග්ධනය බවට පත්වන සමාගමේ වත්කම්වල වටිනාකම රුපියල් 193,625,105කි.

මේ අතර අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු නිමාවේදී RESUS Energy PLC සමාගමේ කොටසක වටිනාකම රුපියල් 16.90ක් ලෙස සටහන්ව තිබූ අතර, එය පෙර දිනයේ කොටසක වටිනාකම වූ රුපියල් 16ට සාපේක්ෂව ශත 90ක එනම් 5.63%ක ඉහළ යාමකි.

Visits: 128