අභියෝග මැද මහජන බැංකුවට වසරේ මුල් මාස හයේදී රුපියල් බිලියන 8.3ක බදු පසු ලාභයක්

මහජන බැංකුවේ සමස්ත මෙහෙයුම් ආදායම, 2022 ජූනි 30 න් අවසන් වූ මාස හයක කාල සීමාව සඳහා රුපියල් බිලියන 69.3ක් වූ අතර, පසුගිය වසරට සාපේක්ෂව එය 54.9%ක වර්ධනයක් පෙන්නුම් කරන්නක් බව බැංකුව පවසයි.

පවතින අධි උද්ධමනකාරී තත්ත්වය තුළ වුවද පිරිවැය පාලනය කිරීම සහ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම හේතුවෙන් සමස්ත මෙහෙයුම් වියදම් රුපියල් බිලියන 20.8 දක්වා (3.7%) ක වර්ධනයක් දක්වා තිබේ.

එහි ප්‍රධාන ගනුදෙනුකාර කොටස්වලට අදාළ සාර්ව ආර්ථික ආතතීන් පිළිබිඹු කරමින් ණය හානිකරණ සඳහා වෙන්කිරීම් රුපියල් බිලියන 32.8 දක්වා 319.9% කින් ඉහළ ගොස් ඇත. බදු පෙර ලාභය රුපියල් බිලියන 11.6 ක් වූ අතර, එය 2021 වසරේ එම කාලය හා සැසඳීමේදී 12.5% ක අඩුවීමකි.

බැංකුවේ මෙහෙයුම් ආදායමෙන් 75%ක් වන ශුද්ධ පොළී ආදායම  රුපියල් බිලියන 51.7 දක්වා 30.5% කින් වර්ධනය විය. ඒ ඔස්සේ බැංකුවේ වත්කම් වර්ධනය සහ ශුද්ධ පොලී ආන්තිකයන්හි වර්ධනය පිළිඹිබු කෙරේ. බැංකුවේ අනෙකුත් අරමුදල් නොලබන ආදායම් මාර්ග වැඩිදියුණු කිරීමට දරන උත්සාහය නිරූපණය කරමින් ගාස්තු මත පදනම් වූ ආදායම  රුපියල් බිලියන 9.8 දක්වා 160.9% කින් වර්ධනය වී ඇත.

එසේම පිරිවැය ආදායම් දර්ශකයන් පිළිඹිබු කරන බැංකුවේ පිරිවැය ආදායම් අනුපාතිකය 2022 පළමු අර්ධය සඳහා 35.9%ක් ලෙස වාර්තා කළ අතර, මෙමඟින් මූලික වශයෙන් බැංකුවේ පිරිවැය පාලනය පිළිඹිබු කරයි. 2021 එම කාල සීමාවේදී 53.0%ක් ලෙස වාර්තා කර ඇත. බදු පසු ලාභය රුපියල් බිලියන 8.3 ක් වූ අතර, එය 2021 එම කාලසීමාවට වඩා 21.3% කින් පහළ යාමකි.

මුළු තැන්පතු රුපියල් බිලියන 2,332.8 දක්වා 12.6% කින් වර්ධනය වූ අතර, ශුද්ධ ණය ප්‍රමාණය රුපියල් බිලියන 1,812.2ක් විය. එය 1.3%ක සු`ඵ අඩුවීමකි. තෝරාගත් ප්‍රධාන ගනුදෙනුකාර කොටස් හරහා ඉහළ අවදානම් මට්ටම් පිළිබිඹු කරමින්, බැංකුවේ අදියර 3 ණය, සමස්ත දළ ණයවල ප්‍රතිශතයක් ලෙස 2021 අවසානයේ තිබූ 4.0%ක ප්‍රතිශතයේ සිට 10.4% දක්වා වැඩි විය. මුළු වත්කම් 2021 රුපියල් බිලියන 3,007.3ක් වූ අතර, එය 2021 අවසානයට වඩා 10.6%ක වර්ධනයකි.

ස්ථර 1 සහ සමස්ත ප්‍රාග්ධන ප්‍රමාණාත්මතා අනුපාත 10.4% සහ 15.0%ක් වූ අතර, පිළිවෙලින් එය 2021 අවසානයේ: 12.6% සහ 17.8%ක් විය.  ඒකාබද්ධ පදනමක් මත, මෙම අනුපාත පිළිවෙළින් 11.6% සහ 15.6% ක් විය. (2021 අවසානය : 13.4% සහ 17.9%). මෙය කිසිදු සහනයකින් තොරව හෝ වෙනත් සුවිශේෂී ගැලපීමකින් තොරව සලකා බලනු ලබයි.

මේ පිළිබඳව අදහස් දැක්වූ මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා ‘අප ඉදිරියේ අභියෝග රැසක් තිබියදීත් මෙම තත්ත්වයන්ට බැංකුවට මුහුණ දීමට ඇති හැකියාව පිළිබඳව මනා අවබෝධයක් මෙම ප්‍රතිඵල ඔස්සේ ලබාදෙනු ලබයි. කර්මාන්තයේ බොහෝ දෙනකුට මෙන් අපගේ විශාලතම පීඩාව වන්නේ විදෙස් මුදල් භාවිතයට ඇති සීමාවනුයි. පුළුල් ජාතික කාර්යභාරයක් සහිත වගකීම්සහගත දේශීය බැංකුවක් වශයෙන් මහජන බැංකුව, කොවිඩ් 19 වසංගතයෙන් පසු රජයට සහ රටේ අභ්‍යන්තර පද්ධතියේ ක්‍රියාකාරිත්වයට සහාය වීම සඳහා ඛනිජ තෙල් ඇතුළු රටේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීමට අවශ්‍ය පහසුකම් සපයයි.  විදේශ මුදල් සම්බන්ධයෙන් ඇති පීඩනය ලිහිල් කිරීම සඳහා පියවර ගැනීමට ඒ හා සම්බන්ධ ප්‍රධාන පාර්ශ්වකරුවන් සම්බන්ධීකරණය කරගැනීම සඳහා දැනට ක්‍රියාමාර්ග ගනිමින් සිටින අතර, අප සෑම අවස්ථාවකදීම රටේ ආර්ථික පුනර්ජීවනය සඳහා සහයෝගය දැක්වීමට කැපවී සිටී.

මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී රංජිත් කොඩිතුවක්කු මහතා, “පොලී ආන්තිකය සහ ණය පිරිවැය පීඩනය ඉහළ ගොස් ඇති මේ අවස්ථාව අපගේ ව්‍යාපාර, මෙහෙයුම් සහ අවදානම් කළමනාකරණය ශක්තිමත් කරගැනීම සඳහා යොදා ගනු ඇත. ජාතික හදගැස්ම හඳුනාගත් බැංකුවක් ලෙස, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සහ ආර්ථිකයේ අනෙකුත් තීරණාත්මක වෙළෙඳපොළ කොටස් සඳහා සහාය වීම සඳහා වැඩි සම්පත් ප්‍රමාණයක් වෙන් කර ඇත. ඉදිරියේදී ඇති අභියෝග පිළිබඳව අවබෝධයෙන්, සිය ගනුදෙනුකරුවන් සහ පාර්ශ්වකරුවන් වෙනුවෙන් වගකීම් ඉටුකිරීමට මහජන බැංකුව කැප වෙමින් සිටී.” යනුවෙන් පවසයි.  

මහජන බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට නැවත වරක් එක්වීමට ලැබීම වර්තමාන අභියෝගාත්මක පරිසරය තුළ අසාමාන්‍ය ජයග්‍රහණයකි. ඒ තුළින් දුෂ්කරතා මධ්‍යයේ පවා එහි ස්ථාවර සහ ශක්තිමත් බව අවධාරණය වන අතරම, දේශීය වශයෙන් පමණක් නොව ගෝලීය වශයෙන්  බැංකුවේ ස්ථාවරභාවය සනාථ වෙයි.

දිවයින පුරා ශාඛා හා සේවා මධ්‍යස්ථාන 743කින් සමන්විත ශ්‍රී ලංකාවේ විශාලතම බැංකුව වන මහජන බැංකුව මෙරට ප්‍රමුඛතම බලපත්‍රලාභී වාණිජ බැංකුවකි. වසර 60කට වැඩි ඉතිහාසයකට උරුමකම් කියන මහජන බැංකුව මිලියන 14.5කට වැඩි ගනුදෙනුකරුවන් පිරිසකගේ ගිණුම් සබඳතා මිලියන 19කට ආසන්න ප්‍රමාණයක් වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කරන 7500කට අධික සේවක පිරිසකගෙන් සමන්විත වේ.

Visits: 69