ශ්‍රී ලංකාව සහ IMF අතර ඩොලර් බිලියන 2.9ක අරමුදලක් සඳහා එකඟතාවක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) මගින් ශ්‍රී ලංකාව වෙත එක්සත් ජනපද ඩොලර් මිලියන 2.9ක විස්තීර්ණ අරමුදල් පහසුකමක් (EFF-Extended Fund Facility) ලබාදීමට කැමැත්ත පළ කර ඇතැයි පවසයි. මාස 48ක කාලයක් ලෙස ක්‍රියාත්මක ආකාරයට මෙම ණය පහසුකම ලබා දෙන බව එම අරමුදල සඳහන් කරයි.

අද දිනයේදී නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ බව අනාවරණය කර තිබේ. මෙහිදී ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා රජයේ බලධාරීන් අතර කාර්යමණ්ඩල-මට්ටමේ එකඟතාවකට පැමිණීම සිදුව තිබේ.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්තීන් සඳහා දක්වන සහයෝගයක් ලෙස මෙම විස්තීරණ අරමුදල් පහසුකම ලබා දීම සිදු කර තිබෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

ඒ අනුව මෙම අරමුදල් සැපයීමේ වැඩසහටන යටතේ ශ්‍රී ලංකාව සිය සාර්වආර්ථික ස්ථායිතාව යළි පිහිටුවීම මෙන්ම ණය ස්ථාවරත්වය ඇති කිරීම අනිවාර්යයෙන්ම සිදුකළ යුතුව ඇතැයි එම අරමුදල සඳහන් කරයි. එසේම මූල්‍යමය ස්ථායිතාව ආරක්ෂා කිරීම, අවදානමට ලක්වූවන් ආරක්ෂා කිරීම මෙන්ම රටෙහි දූෂණය සහ වර්ධනය වෙත බලපෑම් එල්ල කරන අවස්ථාවන් මඟහැරවීම සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පියවර ගැනීමත් අවශ්‍ය බව එම අරමුදල මෙහිදී පෙන්වා දී ඇත.

මෙම එකඟතාවට පත්වීම සම්බන්ධයෙන් රජයේ බලධාරීන් සමගින් වන සාකච්ඡාව සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පීටර් බ්‍රියුර් සහ මාසාහිරෝ නොසාකි යන මහත්වරුන් පසුගිය අගෝස්තු 24 වැනිදා සිට සැප්තැම්බර් 01 වැනිදා දක්වා සම්බන්ධ වී තිබේ.

මෙහිදී ඔවුන් ජනාධිපති සහ මුදල් ඇමති රනිල්වික්‍රමසිංහ, අගමැති දිනේෂ් ගුණවර්ධන, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මහාභාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන සහ මහ බැංකුවේ සහ රජයේ අනෙකුත් ජ්‍යෙෂ්ටනිලධාරීන් මෙන්ම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පෞද්ගලික අංශයේ නියෝජිතයන්, සිවිල් සමාජසංවිධාන මෙන්ම සංවර්ධන හවුල්කරුවන් ඇතුළු පාර්ශ්ව රැසක් සමගින්ම සාකච්ඡා පවත්වා තිබේ.

Visits: 80