ශ්‍රීලංකන් ගුවන් සේවය අභිමානවත් 43 වෙනි සංවත්සරය සමරයි

ශ්‍රී ලංකන් ගුවන් සේවය සිය අභිමානවත් 43 වැනි සංවත්සරය අද (සැප්තැම්බර් 01) දිනයේදී සමරයි . වර්ෂ 1979 සැප්තැම්බර් මස 1 වන ශ්‍රී ලංකන් ගුවන් සේවය ආරම්භ විය. මෙම ගෙවුණු කාලසීමාව පුරා ගුවන් සේවය ශ්‍රී ලංකා සංචාරක ක්ෂේත්‍රයේ විශිෂ්ට සන්ධිස්ථාන රැසක් පසු කරමින් සිටියි.

විශේෂයෙන්ම ජාතික ගුවන් සේවය ලෙස ශ්‍රීලංකන් ගුවන් සේවය ශ්‍රී ලංකාවේ ජාතික ආර්ථිකයටත් සංචාරක ක්ෂේත්‍රයේ උන්නතියටත් ලබාදෙන දායකත්වය කිසිසේත් අවතක්සේරු කළ නොහැකි බව සමාගම සඳහන් කරයි.

අද වනවිට ගුවන් සමාගම ශ්‍රී ලංකාවත් ලෝකයත් යා කරන ප්‍රධානතම දොරටුව බවට පත්ව තිබේ. එහිදී ගුවන් යානා 24 කින් සමන්විත එයාර්බස් ගුවන් යානා ඇණියක් සමඟින්, සෘජු සහ සංකේත හුවමාරු මෙහෙයුම් හරහා මහාද්වීප පුරා රටවල් 60 ක නගර 119 කට ශ්‍රී ලාංකිකයන් සම්බන්ධ කර ඇත.

එපමණක් නොව, කොළඹ සිට පැරීසිය, ෆ්රැන්ක්ෆර්ට්, මෙල්බර්න්, සිඩ්නි, ටෝකියෝ සහ ලන්ඩන් ඇතුළු ගෝලීය ප්‍රධාන නගර කිහිපයක් අතර සෘජු ගුවන් ගමන් ක්‍රියාත්මක කරන එකම ගුවන් සමාගම වන්නේ ද ශ්‍රී ලංකන් ගුවන් සමාගමයි. එම මෙහෙයුම් හරහා ශ්‍රී ලංකා වෙළඳපල සමඟ අදාල ගමනාන්ත වල සමාජ-ආර්ථික සබඳතා සක්‍රීය කරලීමට ද ගුවන් සේවය කැපවී සිටියි.

ජාත්‍යන්තර සංචාරකයින්ට ශ්‍රී ලංකාව සහ රටේ දර්ශනීය උරුමය හඳුන්වා දීම සඳහා ශ්‍රීලංකන් ප්‍රධාන භූමිකාවක් ද ඉටු කර ඇත. අඩ සියවසකට ආසන්න කාලයක සිට ශ්‍රීලංකන් ගුවන් සේවය ශ්‍රී ලංකාව වඩාත් කැමති නිවාඩු ගමනාන්තයක් ලෙස ස්ථානගත කිරීම සඳහා කොළඹ, දකුණු ඉන්දියාව සහ මාලදිවයින වෙත මිලියන ගණනක් මගී සම්බන්ධතා පවත්වා ඇත.

එසේම බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ හරහා සංක්‍රමණය වන මගීන්ගෙන් සියයට 95කට වැඩි ප්‍රමාණයක් රැගෙන යන්නේ ශ්‍රීලංකන් ගුවන් සේවයයි. එසේම ලොවපුරා සංචාරකයින් ශ්‍රී ලංකාවට ගමන් කිරීම සඳහා වැඩිපුරම තෝරාගන්නා ගුවන් සේවය වන්නේ ද ශ්‍රීලංකන් ගුවන් සේවයයි.

1979 සිට මේ දක්වා කාලය තුළ දෙස් විදෙස් මගීන් සඳහා මගී ගමන් මිලියන 89කට අධික සංඛ්‍යාවක් සඳහා ශ්‍රීලංකන් මෙහෙයුම් සිදු කර ඇත. එය ශ්‍රී ලංකාවේ ජනගහනයට සමාන සංඛ්‍යාව මෙන් සිව් ගුණයකි. ගුවන් සමාගම ශ්‍රී ලංකාවට විදේශ මුදල් උපයාදෙන අතර එහි ආදායමෙන් සියයට 85 කට වඩා වැඩි ප්‍රමාණයක් ජාත්‍යන්තර වෙළඳපොල තුළ විදේශ මුදල් වලින් උපයනු ලැබේ.
මෙම අවස්ථාව පිළිබඳව අදහස් දක්වන ශ්‍රීලංකන් ගුවන් සේවයේ සභාපති අශෝක් පතිරගේ මහතා ශ්‍රීලංකන් ගුවන් සේවය පසුගිය දශක හතරක කාලය තුළ ගෝලීය ගුවන් අවකාශ තුළ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉතා භාරදූර වගකීමක් ඉටු කර ඇති බව පවසා සිටියි.

“ශ්‍රීලංකන් ගුවන් සමාගම රටට මුහුණ දීමට සිදුවූ අභියෝගාත්මක අවස්ථාවල ඒවා ජයග්‍රහණය කිරීමට සහය ලබාදුන්නා පමණක් නොව, රට නැවතත් දෙපයින් හිට ගැනීමටත් උපකාර කර තිබෙනවා. රටේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාව සහ ලෝකය අතර සංචාර සහ වෙළඳ සබඳතා පවත්වාගෙන යාමටත් ගුවන් සේවය සහය ලබාදෙනවා. දුෂ්කර කාලවලදී ගුවන් සේවය වෙනුවෙන් කැපවීම් සිදුකළ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සෑම සේවකයෙකුටම මම ස්තූතිවන්ත වෙමි”. යනුවෙන් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ශ්‍රීලංකන් ගුවන් සමාගම මෙරටට ගෙන එන සෑම ජාත්‍යන්තර සම්මානයකින්ම රටට අභිමානයක් ගෙන දී ඇත. 1979 වසරේ සිට ශ්‍රීලංකන් විසින් දිනාගත් සම්මාන ලැයිස්තුගත කිරීමට නොහැකි තරම් වන අතර, පසුගිය දශකය තුළ පමණක් ගුවන් සමාගම කීර්තිමත් ජාත්‍යන්තර සම්මාන 50කට ආසන්න ප්‍රමාණයක් දිනාගෙන ඇත.

Visits: 52