එයාර්ටෙල් සමාගම 1926 මානසික සෞඛ්‍ය උපකාරක සේවාව හා සම්බන්ධවීමේ පහසුකම් පුළුල් කරයි

එයාර්ටෙල් ලංකා සමාගම ජාතික මානසික සෞඛ්‍ය ආයතනය (NIMH) සමඟ එක්ව Whatsapp හරහා 1926 මානසික සෞඛ්‍ය උපකාරක සේවාව වෙත සම්බන්ධ වීමේ පහසුකම් පුළුල් කරන බව නිවේදනය කර සිටියි.

ඒ අනුව මානසික සෞඛ්‍ය යහපැවැත්ම උදෙසා සහය අවශ්‍ය  ඕනෑම අයෙකුට හෝ ඒ සඳහා මැදිහත්වීමක් අවශ්‍ය  ඕනෑම අයෙකුට දැන් 075 555 1926 ඔස්සේ WhatsApp හරහා NIMH හි මානසික සෞඛ්‍ය උපකාරක සේවාව වෙත සම්බන්ධ විය හැක.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන NIMH හි ජ්‍යෙෂ්ඨ මනෝ වෛද්‍ය විශේෂඥ වෛද්‍ය පුෂ්පා රණසිංහ මහත්මිය, ”කොරෝනා වසංගත කාලයේ පැවති lock down තත්වය නිසා මිනිසුන් හුදකලා වුණා. එය මානසික සෞඛ්‍ය සම්බන්ධ ගැටළු වැඩි වීමට හේතු වී තිබෙනවා. එබැවින් WhatsApp වැනි අපට සමීප මාර්ගයන් භාවිතයෙන් මානසික සෞඛ්‍ය යහපැවැත්ම නඟාසිටුවීම කාලීන අවශ්‍යතාවයක්. දුරකතන මාර්ග හරහා සංනිවේදනය කර තම ගැටළු වලට පිළියම් ලබාගැනිමට තරුණ ප‍්‍රජාව ද කැමැත්තක් ඵල කරනවා.”

”Whatsapp පණිවිඩ සේවාව ඇත්තෙන්ම හොඳ විසඳුමක් වන අතර විශේෂයෙන්ම සිය මානසික සෞඛ්‍යය ගැටළු වලට පිළියම් සොයන තරුණ තරුණියන්ට අපි වෙත පැමිණ හෝ අපි සමඟ කතාබහ කරනවා වෙනුවට මෙම පණිවිඩ සේවාව භාවිතා කිරීම වඩාත් පහසු වෙනවා. ඔවුන් වෙත උපරිම සේවාවක් සැලසීම වෙනුවෙන් ගන්නා වූ අපගේ උත්සාහයට සහාය වීම ගැන අපි එයාර්ටෙල් කණ්ඩායමට කෘතඥ වෙනවා.” යනුවෙන් පවසයි.

2020 ජාත්‍යන්තර මානසික සෞඛ්‍ය දිනයට සමගාමීව දියත්කල කෙටි පණිවිඩ සේවාව මඟින් ගැටළුකාරී මානසික සෞඛ්‍යය හේතුවෙන් අභියෝගවලට මුහුණ දෙන බොහෝ පුද්ගලයන්ට සහය දැක්වීමට, සැනසීම ලබාදීමට සහ මගපෙන්වීම සැපයීමට අමතරව ජීවිත 100කට අධික ප‍්‍රමාණයක් ජීවත් කර වීමට උපකාරී වී ඇත.

මෙහිදී අදහස් දක්වමින් එයාර්ටෙල් ශ‍්‍රී ලංකා හි ප‍්‍රධාන විධායක නිලධාරී/කළමනාකාර අධ්‍යක්ෂක අශිෂ් චන්ද්‍ර මහතා ”NIMH කණ්ඩායම විසින් සිදු කරනු ලබන විශිෂ්ට සේවාවට අඛණ්ඩව සහයෝගය දැක්වීම ගැන එයාර්ටෙල් අප ආඩම්බර වන අතර Whatsapp හරහා 1926 සේවාව වෙත පිවිසීමට පහසුකම් සැලසීම මඟින් තමන්ගේ මානසික පීඩාවට සවන් දීමට තවත් කෙනෙකු ඔබ අසලින්ම රැදෙන බව හැඟවෙනවා.” යනුවෙන් පැවසුවේය.  

එයාර්ටෙල් විසින් Whatsapp හරහා මෙම සේවාව වෙත සම්බන්ධ වීමේ පහසුකම් ලබාදීමට ගත් තීරණය voice හෝ සාමාන්‍ය කෙටි පණිවිඩ භාවිතයට වඩා data භාවිතය සඳහා මනාපයක් ඇති තරුණ පරිශීලකයින්ට වඩාත් සාධනීය ක‍්‍රමයකි. මෙම යෙදවුම මඟින් වීඩියෝ ඇමතුම්, බෙහෙත් වට්ටෝරු බෙදාගැනීම සහ හඬ සටහන් ඇතුළුව තවත් බොහෝ විකල්පයන් භාවිතා කළ හැකි අතර එමඟින් 1926 සේවාව වෙත සම්බන්ධව තම මානසික නිදහස ලගාකරගත හැකිය.

Visits: 47