Luminex PLC බටහිර ආසියානු රාජ්‍යයක සැලසුම් කළ මෙහෙයුම් කඩිනම් කිරීමට පියවර

කොළඹ කොටස් හුවාමරුවෙහි ලැයිස්තුගත Luminex PLC සමාගම ­­බටහිර ආසියානු රටක් තුළ සිදු කිරීමට සැලසුම් කර තිබූ දුරකතන සන්නිවේදන ඉංජිනේරු මෙහෙයුම් සංවර්ධන කටයුතු කඩිනමින් සිදු කිරිමට තීරණය කර ඇතැයි පවසයි.

අද දිනයේදී නිකුත් වුණු එම සමාගමේ 2021/22 මූල්‍ය වර්ෂය සඳහා වන වාර්ෂික වාර්තාව වෙත අදහස් දක්වමින් එම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ රුවන් ප්‍රනාන්දු සහ ප්‍රධාන විධායක නිලධාරී උපුල් ලේකම්ගේ යන මහත්වරුන් මේ බව සඳහන් කර සිටියි.

විශේෂයෙන්ම රට තුළ වර්තමානයේදී පවතින සමාජ ආර්ථික අර්බුදකාරී තත්ත්වය නිසා සමස්ත ඉදිකිරීම් සහ ඉංජිනේරුමය කටයුතු සම්බන්ධයෙන් වඩාත් අසීරු කාලසීමාවක් පැවතීමත්, ඉහළ යන උද්ධමනය, ආනයන සහ විදේශ විනිමිය සීමා කිරීම්, අමුද්‍රව්‍ය හිඟතාව සහ ඉන්ධන හිඟතාව යනාදී කාරණා හේතුවෙන් මෙම ව්‍යාපෘතිය වෙත අවධානය යොමු කළ බව සමාගම පවසයි.

Luminex PLC සමාගම සඳහන් කරන ආකාරයට මෙම මෙහෙයුම් ශ්‍රී ලංකාව තුළ එම සමාගම මගින් සිදු කරන දුරකතන සන්නිවේදන මෙහයෙුම් හා සමාන වෙයි. කෙසේ වෙතත් මෙම බටහිර ආසියානු රට කුමක්ද යන්න මෙහිදී අනාවරණය කෙරී නැත.

“2020 වසරේදී පළමුවරට මෙම මෙහෙයුම ආරම්භ කිරීම සඳහා සමාගම මුල පිරීමක් සිදු කළද, ලොව පුරා ව්‍යාප්ත වූ කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් එය තාවකාලිකව අත්හිටුවීමට සිදුවිය.” මෙහි සඳහන් වෙයි.

ඒ අනුව වසර දෙකකට පසුව 2022 ජූනි මාසයේදී සමාගමේ ජ්‍යෙෂ්ට ඉංජිනේරුවරුන් දෙදෙනකු එම රට වෙත ගොස්, ලුමිනෙක්ස් සමාගම වෙත 70෴ක හිමිකාරීත්වයක් සහිත සීමිත වගකීමක් සහිත සමාගමක් ස්ථාපිත කිරීම සඳහා කටයුතු යෙදූ බවත් සමාගම පවසයි.

“මෙලෙස පිහිටුවෙන සමාගම එම රට තුළ සිදු කිරීමට සැලසුම් කර ඇති මෙහෙයුම් දැනටමත් ශ්‍රී ලංවේ දුරකතන සන්නිවේදන ක්ෂේත්‍රය තුළ සමාගම සිදු කරන මෙහෙයුම් හා සමානයි. මේ යටතේ ඉදිරියේදී ජ්‍යෙෂ්ට ව්‍යාපෘති කළමනාකරුවෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් සිව් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඒහි ස්ථාපිත කෙරෙනු ඇති.”

මෙලෙස ස්ථාපිත කෙරෙන කණ්ඩායම හරහා මූලික වටයේදී කුඩා පරිමාණයේ දුරකතන සන්නිවේදන කොන්ත්‍රාත්තු ලබා ගැනීම අරමුණ බවත්, අනතුරුව සිය ව්‍යාප්තිය ක්‍රමානුකූලව පුළුල් කරගැනීමට කටයුතු යොදන බවත් Luminex PLC සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

Visits: 189