හේලීස් වැවිලි සමාගම මෙරට වැවිලි ක්ෂේත‍්‍රයේ ප‍්‍රථම කළමනාකරණ සමුළුව පවත්වයි

ශ‍්‍රී ලාංකේය වැවිලි ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු වන හේලීස් වැවිලි සමාගම ශ‍්‍රී ලාංකේය වැවිලි කර්මාන්තයේ සහ දේශීය ආයතනික අංශයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ප‍්‍රථම වරට කළමනාකරණ සමුළුවක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

මෑත කාලීනව මුහුණ දීමට සිදු වූ අභියෝගවලට ප‍්‍රතිචාර වශයෙන් තම වතු කණ්ඩායම් විසින් දියුණු කරන ලද නවෝත්පාදනයන් සහ හොඳම භාවිතයන් ලෝකයා ඉදිරියට ගෙනයමින් මෙම සංවිධානය වී ඇත.

ශාස්ත‍්‍රීය හා විද්‍යාත්මක ක්ෂේත‍්‍රයන් පිළිබඳ අදහස් සහ පර්යේෂණ එක් තැනකට ගෙන එන සාකච්ඡා මණ්ඩපයක් වන මෙම සමුළුව හේලීස් වැවිලි අංශයේ මානව සම්පත් අංශය විසින් දිවයින පුරා පිහිටි වතු 60ක් සහ එහි කණ්ඩායම් සම්බන්ධ කරගනිමින් කි‍්‍රයාත්මක කරන ලදී. පර්යේෂණ මත පදනම් වූ විද්‍යාත්මක අදහස් වලට වටිනාකමක් ලබාදෙමින්, විද්‍යාත්මක හා ආර්ථික ක‍්‍රමවේද හරහා කාලීන ගැටලූ විසඳීම පිළිබඳ සිද්ධි අධ්‍යයනයන් සම්පාදනය කිරීමට මෙම කණ්ඩායම්වලට පැවරී තිබිණි.

මෙම අවස්ථාවට හේලීස් සමූහ ව්‍යාපාරයේ ඉහළ කළමනාකාරීත්වය සහ ප‍්‍රමුඛ පෙළේ ආයතන සහභාගී විය. පර්යේෂණ හා සංවර්ධන කටයුතු සඳහා පෞද්ගලික අංශයේ ආයෝජනයේ වැදගත්කම යළිත් අවධාරණය කරමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා විසින් මෙම සමුළුවේ ප‍්‍රධාන දේශනය පවත්වන ලදී.

හේලීස් වැවිලි සමාගම විසින් ගනු ලැබූ මෙම ප‍්‍රයත්නයන් පිළිබඳව ප‍්‍රශංසා කළ මහාචාර්ය මාරඹේ මහතා යාවත්කාලීන වන තාක්ෂණයන් ඒකාබද්ධ කිරීම වෙනුවෙන් ආයතන සහ නැගී එන කෘෂි තාක්ෂණික පුරෝගාමීන් අතර ඇති හවුල්කාරිත්වයේ වටිනාකම පිළිබඳව ද සඳහන් කළේය.

”අපගේ කණ්ඩායම් පෙර නොවූ විරූ අභියෝග මධ්‍යයේ ඔවුන්ගේ ජයග‍්‍රහණ ප‍්‍රදර්ශනය කරමින් නව්‍ය චින්තනයේ ප‍්‍රබලත්වය ප‍්‍රදර්ශනය කරනවා. අපගේ කර්මාන්තයේ වසර 150ක ඉතිහාසය තුළ මෙවැනි සමුළුවක් සංවිධානය කළ පළමු අවස්ථාව මෙයයි. විද්‍යාත්මකව ගැටළු නිරාකරණය කිරීම පදනම් වූ මෙම සිද්ධි අධ්‍යයනයන් ඉදිරියට ගැනීම මගින් ශ‍්‍රී ලංකාවේ වැවිලි කර්මාන්තයට මෙන්ම එයට සම්බන්ධ මිලියනයකට අධික ශ‍්‍රී ලාංකිකයින්ට ද වඩාත් තිරසාර සහ සමෘද්ධිමත් අනාගතයක් උදාකර දීම වෙනුවෙන් සහය විය හැකියි.” යනුවෙන් හේලීස් වැවිලි සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය රොෂාන් රාජදුරෙයි මහතා පැවසුවේය.

”නවෝත්පාදන ව්‍යාපාර චින්තනය සහ යෙදවුම්” යන තේමාව යටතේ පවත්වන ලද මෙම සමුළුව මගින් සමාගම් මට්ටමේ ජයග‍්‍රාහකයින් 3 දෙනෙකු සමඟින් ඉහළම ව්‍යාපෘති 10, සෑම හේලීස් වැවිලි සමාගමකින්ම හොඳම ව්‍යාපෘතියක් බැගින් සහ එම ජයග‍්‍රාහකයින් අතරින් සමස්ත ජයග‍්‍රාහකයා හඳුනා ගන්නා ලදී. සේවකයින්ගේ තෘප්තිය, ගුණාත්මකභාවය ඉහළ නැංවීම, පුනර්ජනනීය බලශක්ති භාවිතය, නව්‍ය පරිසර හිතකාමී විසඳුම්, ඉඩම් පරිහරණය උපරිම කිරීම සහ තේ අස්වනු නෙළන්නන්ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීම වැනි ක්ෂේත‍්‍ර ආවරණය වන පරිදි වතු කණ්ඩායම් වෙත සම්මාන පිරිනැමිණි.

Visits: 87

Leave a Reply

Your email address will not be published. Required fields are marked *