“සංචාරක කර්මාන්තය ගැන යහපත් බලාපොරොත්තු තබා ගන්න පුළුවන් වේවි” – ශ්‍රීලාල් මිත්තපාල

ශ්‍රී ලංකාව තුළ වර්තමානයේ පවතින දේශපාලනික ස්ථාවර තත්ත්වය සහ ආරක්ෂාව පිළිබඳ විශ්වාසනීය තත්ත්වයත් සමගින්ම ඉදිරියේදී මෙරට සංචාරක කර්මාන්තය පිළිබඳව යහපත් බලාපොරොත්තුවක් තබා ගත හැකි වනු ඇතැයි සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වන ශ්‍රී ලාල් මිත්තපාල මහතා පවසයි.

වසංගතයෙන් පසු ලෝක සංචාරක කර්මාන්තයේ අනාගතය සහ ශ්‍රී ලංකාවට ඉන් අත්කරගත හැකි ප්‍රතිලාභ සම්බන්ධයෙන් ‘ඉකොනොමි ඇන්ඩ් බිස්නස් ශ්‍රී ලංකා’ වෙබ් අඩවිය සිදුකළ අදහස් විමසීමකදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

සංචරණය සහ ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ විශේෂඥයෙකු වන මිත්තපාල මහතා, කලක් ශ්‍රී ලංකා හෝටල් සංගමයේ (The Hotels Association of Sri Lanka – THASL) සභාපතිවරයා ලෙසද කටයුතු කර තිබේ. ආගන්තුක සත්කාර ක්ෂේත්‍රය තුළ ඒ මහතා සතුව වසර 25කට අධික අත්දැකීම් පවතී.

සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත අනුව පසුගිය ජූලි මාසයේදී මෙරට වෙත පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 47,293ක් වන අතර, වසරේ මුල් මාස හත තුළදී පැමිණ ඇති සමස්ත සංචාරකයන් සංඛ්‍යාව 458,670කි. එහිදී ගත වුණු මාස කිහිපයේදී රට තුළ පැවැති කලහකාරී ගැටුම් අවසානයේදී අද වනවිට සංචාරක පැමිණීම්හි කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර තිබේ.

මේ අතර පසුගිය සතිය තුළදී එක්සත් රාජධානිය, නෝර්වේ, ස්විස්ටර්ලන්තය, ස්වීඩනය සහ ඩෙන්මාර්කය යන යුරෝපා කලාපීය රාජ්‍යයන් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සම්බන්ධයෙන් සිය ජනතාව වෙත ලබා දී තිබූ සංචරණ උපදෙස් ලිහිල් කිරීමත් සමගින්ම ඉදිරි කාලසීමාවේදී මෙරටට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

“ඉස්සර තිබුණා වගේ ලංකාව සම්බන්ධයෙන් ආරක්ෂාව පිළිබඳ ගැටලු අද සංචාරකයන් තුළ නැහැ. මට හිතෙන හැටියට ශ්‍රී ලංකාව මුහුණ දීලා තියෙන අර්බුදය ගැන බටහිර රටවල් කණස්සල්ලට පත්වෙලා තමයි මේ විදියට සංචරණ උපදෙස් ලිහිල් කිරීමක් සිදු කරමින් යන්නේ.” මිත්තපාල මහතා පවසයි.

වැඩිදුරටත් අදහස් දක්වන මිත්තපාල මහතා, “පසුගිය කාලසීමාවේ අපිට ප්‍රශ්න රැසකටම මුහුණ දෙන්න වුණා. තව මාස කිහිපයක් යන තුරුම අපිට ඒ ප්‍රශ්නත් එක්ක ජීවත් වෙන්න සිද්ධ වේවි. අපිට ඒ අඩුපාඩු පිරිමහගන්න වෙනවා. හැබැයි මේ සංචාරකයන්ට ඒ වගේ ප්‍රශ්න නැහැ. ඔවුන් එන්නේ සංචාරය කරන්න. එතැනදී ඔවුන්ට පහසුකම් සලසලා දීලා යම් විදේශ විනිමය ආදායමක් උපයාගන්නයි අපි බලන්න ඕනේ.” යනුවෙන්ද සඳහන් කරයි.

මෙහිදී සංචාරකයන් ශ්‍රී ලංකාව වෙත ආකර්ෂණය වන තවත් කාරණාවක් වන්නේ වර්තමාන විදේශ විනිමය අනුපාතය අනුව එක් ඩොලරයක් සඳහා හිමිවන රුපියල් වටිනාකම ඉහළ යාම බවත් මිත්තපාල මහතා සඳහන් කරයි. “හරියටම බැලුවොත් වෙනදට ඩොලරයක් අරගෙන ඇවිල්ලා මාරු කරද්දී ලැබෙන රුපියල් ප්‍රමාණයට වඩා රුපියල් ප්‍රමාණයක් අද ඔවුන්ට ලැබෙනවා. ලංකාවේ භාණ්ඩ මිල ඉහළ ගිහින් තමයි. ඒත් එය ඉහළ මට්ටමේ සංචාරකයාට ප්‍රශ්නයක් නෙමෙයි කියලයි මම දකින්නේ.”

COVID-19 වසංගතය හේතුවෙන් වසර තුනකට ආසන්න කාලයක් දැඩි බලපෑමට ලක්ව තිබූ ලෝක සංචාරක කර්මාන්තය මේ වනවිට යම් පණක් ලබමින් වසංගතයට පෙර තිබූ තත්ත්වයටම ක්‍රමයෙන් පත්වෙමින් සිටියි. එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානය මගින් සෑම වසරකම සැප්තැම්බර් 27 වැනිදා සමරන ලෝක සංචාරක දිනය සඳහා මෙවර තේමාව වන්නේද “සංචාරක කර්මාන්තය පිළිබඳ නැවත සිතීම“ යන්නයි.

මෙහිදී ප්‍රමාණත්වය සහ අදාළත්වය යන දෙඅංශයෙන්ම සංචාරක අංශයේ වර්ධනයක් නැවත පරිකල්පනය කිරීම කෙරෙහි ලෝක සංචාරක සංවිධානයේ අවධානය යොමුව තිබේ.

“සංචරණය පුරුද්දක් විදියට පවත්වාගෙන ගිය පිරිසට වගේම අලුතින් සංචරණය සඳහා එක් වීමට සිටි පිරිසටත් මේ වසංගතය නිසා දැඩි බලපෑමක් එල්ල වුණා. ඇත්තම කිව්වොත් මේ සංචරණ සීමා නිසා බොහෝ දෙනෙක් මානසික ආතති තත්ත්වයන්ට පත්වෙලයි ඉන්නේ. දැනට මාස කිහිපයකට කලින් ඔස්ට්‍රේලියාව දේශසීමා විවෘත කළාට පස්සේ මම එහේ යන කොට මට තේරුණා ඒ රටේ ජනතාව හරිම පීඩනයකින් ආතතියකින් ඉන්නේ කියලා. මේ තත්ත්වය මඟහැරගන්න අනිවාර්යයනේම සංචාරයක නිරත වෙන්නම ඕනේ.

එතැනදීත් ස්වාභාව සෞන්දර්යය තියෙන, හොඳ මුහුදු වෙරළක් තියෙන, නිස්කලංක වටපිටාවක් තියෙන, තිරසාරත්වය ආරක්ෂා කරන, ඒ වගේම කඳු නැගීම්, ජල ක්‍රීඩා ඇතුළු විවිධ අභියෝගාත්මක ක්‍රීඩා ඉසව් තියෙන තැනකට සංචාරකයන් යන්න කැමතියි. ඉතිං ඒ අතින් ලංකාව කියන්නේ හොඳම සංචාරක ගමනාන්තයක්.” මිත්තපාල මහතා පවසයි.

විශේෂයෙන්ම පවතින යහපත් තත්ත්වයත් සමගින්ම පෙර සුපුරුදු පරිද්දෙන් දෙසැම්බර් සිට මාර්තු දක්වා වන ශීත ඍතු සමයේදී වැඩි වශයෙන් මෙරට වෙත සංචාරකයන් පැමිණෙනු ඇතැයි යන්න විශ්වාසය වී තිබේ. සංචාරක සංවර්ධන අධිකාරියේ වත්මන් සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතාට අනුවද මේ වසරේ දෙසැම්බර් මාසය වනවිට සංචාරකයන් ලක්ෂයක් මෙරටට පැමිණෙනු ඇතැයි අපේක්ෂාව වී තිබේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව යනු පාස්කු ප්‍රහාරයට පෙර වසරකට සංචාරකයන් ලක්ෂ 23ක් පැමිණි රටකි. 2018 දී එය සංචාරකයන් 2,333,796ක් ලෙස සටහන්ව ඇති අතර, 2019දී එය සංචාරකයන් 1,913,702ක් ලෙස සටහන්ව තිබේ.

“ඉදිරියේදී පැමිණෙන මේ සංචාරකයන් සියලු දෙනාටම පහසුකම් සලසන්න අපේ හෝටල් සියල්ලක්ම අද සූදානම් වෙලයි ඉන්නේ. අද හෝටල් ක්ෂේත්‍රයේ ගාස්තු අය කිරීම ඉහළ දමලා. ඒ නිසා හොඳ ආදායමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. වසංගත කාලයේදී මේ හෝටල් ඉතාමත් දරුණු ලෙස බලපෑමට ලක්වුණා. ඒ වුණත් හැකි උපරිමයෙන්ම එම හෝටල් නඩත්තු කරගෙන පවත්වාගෙන යන්න කටයුතු කෙරුණා. දැන් මේ හෝටල්වලට මුදල් ගලා ඒම ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමිනුයි තියෙන්නේ.*

කෙසේ වෙතත් වසංගතයත් සමගින්ම ඇති වූ අර්බුදකාරී තත්වයත් සමගින්ම හෝටල් කර්මාන්තයේ නියුතු බොහෝ පිරිසකට සිය රැකියා අහිමිවීමත්, ඔවුන් වෙනත් රැකියා වෙත යොමු වීමත් නිසා මේ වනවිට එම කර්මාන්තය තුළ යම් සේවක හිඟයක් මතුව තිබෙන බවත් මිත්තපාල මහතා පවසයි. එහෙත් සංචාරක කර්මාන්තයේ දියුණුව හරහා ඉදිරියේදී හෝටල්වල ආදායම් වර්ධනයත් සමගින්ම එම ගැටලු නිරාකරණය වනු ඇතැයි විශ්වාසය බවද හෙතෙම සඳහන් කරයි.

Visits: 124