කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් රු.මි. 15කට AMW Insurance Brokers මිලදී ගනී‍

කොළඹ කොටස් හුවාමරුවෙහි ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වන කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී (COCR.N0000) සමාගම, රක්ෂණ තැරැව්කාර සමාගමක් වන AMW Insurance Brokers (පෞද්) සමාගම මිලදී ගෙන ඇතැයි පවසයි.

අද (අගෝස්තු 31දා) මෙම ගනුදෙනුව සිදුව ඇති අතර, කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම ලිපියක් මගින් කොළඹ කොටස් හුවමාරුව වෙත මේ පිළිබඳව දැනුම් දී තිබේ.

මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් වන මහ බැංකු අනුමැතිය පසුගිය ජුලි 20 වැනිදා හිමි වුණු බවත් සමාගම සඳහන් කරයි. මෙහිදී AMW Insurance Brokers (පෞද්) සමාගමේ 100% ක කොටස් ප්‍රතිශතයක් මිලදී ගෙන ඇති අතර, ගනුදෙනුවේ වටිනාකම රුපියල් මිලියන 15කි.

AMW Insurance Brokers (පෞද්) සමාගම, 2000 අංක 43 දරණ රක්ෂණ කර්මාන්ත නියාමන පනත යටතේ රක්ෂණ නියාමන කොමිෂන් සභාව තුළ සාමාන්‍ය රක්ෂණ යටතේ ලියාපදිංචි රක්ෂණ තැරැව්කාර සමාගමකි. එසේම එම සමාගම ශ්‍රී ලංකා රක්ෂණ තැරැව්කාර සමාගම් සංගමයේ සාමාජික සමාගමකි.

Visits: 261