අල්මාස් යටතට පත් වූ ඇසෙට්ලයින් සෙකියුරිටිස් හෙට (සැප්. 01 දා) සිය නම වෙනස් කරයි

මෙරට මුල් පෙළේ ආයෝජකයෙකු වන ඉම්තියාස් බුහර්දීන් මහතාට අයත් අල්මාස් සමූහය යටතට පත් වූ ඇසෙට්ලයින් සෙකියුරිටීස් (පෞද්) සමාගම ලබන සැප්තැම්බර් 01 වැනිදා (හෙට) සිය සමාගම් නාමය වෙනසකට ලක් කරමින් වෙළෙඳ නාමය යළි එළිදැක්වීමක් සිදු කරන බව පවසයි.

ඒ අනුව බොහෝ දුරට අල්මාස් ඊක්වටීස් (පෞද්) සමාගම (Almas Equities) ලෙස එම සමාගමේ නම වෙනස් කිරීමට නියමිතව ඇති අතර, දැනටමත් එහි ට්විටර් ගිණුමේ මෙම නව වෙළෙඳ නාමය ප්‍රදර්ශනය කෙරී තිබේ.

මෙම ඇසෙට්ලයින් සෙකියුරිටීස් (පෞද්) සමාගම කොළඹ කොටස් හුවමාරුවෙහි කොටස් තැරැව්කාර සමාගමක් ලෙස මෙහෙයුම් සිදු කරයි. එහි හිමිකාරීත්වය පැවැතියේ  ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (DPMC) සමාගමට අයත් ඇසෙට්ලයින් හෝල්ඩිංග්ස් සමාගම වෙතයි.

කෙසේ වෙතත් ඇසෙට්ලයින් සමාගම මගින් ගනු ලැබූ තීරණයකට අනුව 2020 වසරේ මැයි 15 වැනිදා සිට එම සමාගම ස්වේච්ඡාවෙන්ම සිය ව්‍යාපරික මෙහෙයුම් අක්‍රිය කිරීමට පියවර ගැනුණි.

අනතුරුව මෙම ඇසෙට්ලයින් සෙකියුරිටීස් සමාගම මිලදී ගැනීමට අල්මාස් සමූහය පියවර ගත් අතර, මේ වසරේ මැයි 23 වැනිදා සිට සමාගම එම නමින්ම යළිත් සිය ව්‍යාපාරික මෙහෙයුම් ආරම්භ කෙරිණි.

ඒ අනුව මාස තුනක කාලයක් ඇසෙට්ලයින් සෙකියුරිටීස් නමින් පවත්වාගෙන ගිය එම සමාගමේ නම හෙට දිනයේ සිට මෙලෙස නම් වෙනස් කිරීමකට සහ වෙළෙඳ නාම නැවත එළිදැක්වීමකට සූදානමින් සිටියි.

Visits: 159