සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් වෙතින් පිට පිට සිව්වැනි වසරටත් හිමිකම් කොටස් නිකුතුවක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් පීඑල්සී සමාගම (CRL.N0000) සිය කොටස්හිමිකරුවන් සඳහා හිමිකම් කොටස් නිකුතුවක් සිදු කිරිමට සැලසුම් කර ඇතැයි පවසයි. නව ප්‍රාග්ධන සම්පාදනයක් හරහා සිය සමාගමෙහි ප්‍රකාශිත ප්‍රාග්ධනය ඉහළ නංවා ගැනීම මෙහි අරමුණ වී තිබේ.

ඒ අනුව මෙහිදී සමාගම මගින් නව සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 116,483,901ක් නිකුත් කිරීම සැලසුම වී තිබේ. මෙය දැනට එම කොටස් හිමිකරුවන් සතුව ඇති සෑම කොටස් 423ක් සඳහාම නව කොටස් 100ක් හිමිවන ආකාරයෙන් සිදු කරන බව සමාගම පවසයි.

මෙහිදී එක් හිමිකම් කොටසක් රුපියල් 7.31ක් ලෙස මිල කෙරී ඇති අතර, සමස්ත නිකුතුව හරහා රැස් කරගැනීමට බලාපොරොත්තු වන ප්‍රාග්ධනය රුපියල් මිලියන 851ක් (851,497‍, 316ක්) වෙයි.

සමාගම සඳහන් කරන ආකාරයට අද වනවිට සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් පීඑල්සී සමාගමෙහි ප්‍රකාශිත ප්‍රාග්ධනය රුපියල් බිලියන 6.74ක් (6,746,427,723.12ක්) වෙයි. මෙම නව ප්‍රාග්ධන සම්පාදනයත් සමගින්ම එය රුපියල් බිලියන 7.6ක් (7,597,925,039ක්) දක්වා ඉහළ යනු ඇතැයි සඳහන් වෙයි.

මූලිකවම මෙරට බැංකු නොවන මූල්‍ය ආයතන විසින් පවත්වාගෙන යා යුතු බවට මහ බැංකුව විසින් සඳහන් කර ඇති මූලික ප්‍රාග්ධන අවශ්‍යතාව වෙනුවෙන් මෙම අරමුදල් රැස් කරගැනීම සිදු කිරීම අරමුණ වී තිබේ.

කෙසේ වෙතත් මෙම මූලික හිමිකම් කොටස් නිකුතුව සඳහා කොළඹ කොටස් හුවමාරුවෙහි අනුමැතිය හිමිවිය යුතුව ඇති බවත්, ඊට අමතරව සිය සමාගමේ කොටස් හිමිකරුවන්ගේ අනුමැතියද ඊට හිමිවිය යුතු බවත් සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් පිඑල්සී පවසයි.

මේ අතර සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් සමාගම සැලසුම් කර ඇති මෙම මූලික හිමිකම් කොටස් නිකුතුව, 2019 වසරේ සිට 2022 දක්වා ගත වුණු වසර හතර තුළදී පිට පිට සිදු කරන සිව්වැනි මූලික හිමිකම් කොටස් නිකුතුවද වෙයි.

සමාගම 2019 වසරේ මූලික හිමිකම් කොටස් නිකුතුව සිදු කරන අවස්ථාවේදී එහි ප්‍රකාශිත ප්‍රාග්ධය රුපියල් බිලියන 2ක් ලෙස සටහන්ව තිබුණි. 2020 සිදු කළ නිකුතුව අවස්ථෘවේදී එය රුපියල් බිලියන 2.6ක් විය. එසේම 2021 අවසන් හිමිකම් කොටස් නිකුතුව සිදු කරන න අවස්ථාව වනවිට එම ප්‍රකාශිත ප්‍රාග්ධනය රුපියල් බිලියන 4.5ක් ලෙස සටහන් විය. වර්තමානයේදී එය රුපියල් බිලියන 6.7කි.

ඊයේ දිනයේ කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අවසානයේදී සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් පීඑල්සී සමාගමෙහි කොටසක වටිනාකම රුපියල් 11.50ක් ලෙස සටහන්ව තිබුණි. එය පෙර දිනයේ පැවැති රුපියල් 13.00 හා සැසඳීමේදී රුපියල් 1.50ක් එනම් 11.54%ක පසුබැසීමකි.

සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් සමාගම අශෝක් පතිරගේ මහතාගේ සභාපතිත්වයෙන් යුත් සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් සමූහයට අයත් සමාගමකි.

Visits: 130