පළමු මරුටි 800 රථය පූර්ණ අලුත්වැඩියාවකින් පසු යළිත් ප්‍රදර්ශනයට

ඉන්දියාවේ මරුටි සුසුකි සමාගම මගින් 1980 දශකයේදී නිපදවූ පළමු මරුටි 800 රථය මේ වනවිට එහි මුල් ස්වරූපයෙන්ම අලුත්වැඩියා කරමින් හර්යානා ප්‍රාන්තයේ පිහිටි මරුටි සුසුකි මූලස්ථානයේ ප්‍රදර්ශනයට තබා ඇතැයි වාර්තා වෙයි.

1983වසරේදී පළමුවරට වෙළෙඳ පොළට නිකුත් කෙරුණු මෙම මරුටි 800 රථය ඉතාමත් වේගයෙන් ඉන්දියාවේ මධ්‍යම පාන්තික ජනතාවගේ පවුලේ වාහනය බවට පත්විය. එසේම ඉන්දියාවේ මතු නොව 1990 දශකයේදී ශ්‍රී ලාංකිකයන්ගේ පවුලේ වාහනය බවට පත්වූයේද මෙම මරුටි 800 රථයයි.

මෙලෙස කුඩා ප්‍රමාණයේ මාදිලියක් මෙන්ම කාටත් මිලදී ගත හැකි ආකාරයේ රථයක් වීමත් නිසාම ගතවුණු වසර 39ක කාලය තුළදී එය ඉන්දියානු මාර්ග තුළ වඩාත් සාර්ථකම රථයක් බවට පත් විය. ඒ අනුව ඉන්දියාවේ 75 වැනි නිදහස් දිනය යෙදෙන මෙම වසරේදී යළිත් දශක 40කට පසුව මෙම පළමු මරුටි සුසුකි 800 රථය අලුත්වැඩියා කර, එහි මුල් ස්වරූපයෙන්ම ප්‍රදර්ශනය කිරිමට සමාගම තීරණය කළ බව සමාගමේ වත්මක් වෙළෙඳ සහ අලෙවිකරණ ජ්‍යෙෂ්ට විධායක අධ්‍යක්ෂවරයා පවසා සිටියි.

මෙම මරුටි 800 රථය 2004 වසර දක්වාම ඉන්දියාවේ හොඳින්ම අලෙවි වන මෝටර් රථ බවට පත්ව තිබූ අතර, 2014 ජනවාරි මාසයේ 18 වැනිදා සිට මෙම රථය නිෂ්පාදනය නැවැත්වුණි.

මරුටි සුසුකි සමාගම පවසන ආකාරයට දැනට වසර 39 කට පෙරාතුව නිකුත් කෙරුණු මෙම පළමු මරුටි 800 රථයේ වටිනාකම රුපියල් 47,500කි. හර්යානා ප්‍රාන්තයේ පිහිටි මරුටි උද්යොග් ලිමිටඩ් සමාගම තුළ මෙම රථය නිපදවා තිබේ. පසුව මරුටි සුසුකි ඉන්දියා ලිමිටඩ් බවට පත් වූයේ මෙම සමාගමයි.

මෙම පළමු මරුටි 800 රථයේ හිමිකරුවා වූයේ නව දිල්ලියේ පදිංචි හර්පාල් සිං නමැත්තෙකි. හිටපු ඉන්දීය අගමැතිනී ඉන්දිරා ඝාන්ධි මහත්මිය අතින් ඔහුට පළමු රථයේ යතුර පිරිනැමී තිබේ. එම රථයේ ලියාපදිංචි අංකය DIA 6479 ලෙස සටහන්ව තිබූ අතර, 2010 දි ඔහු මියයන තෙක්ම එම රථය ඔහු සතුව තිබී ඇත.

ඔහුගේ මරණයෙන් පසුව මෙම රථය පසෙකට තල්ලු වී ඇති අතර, ඒ හේතුවෙන් එය දිරාපත්වීම සිදුව තිබේ. කෙසේ වෙතත් මේ රථය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළදී සිදු කෙරුණු අනාවරණයෙන් අනතුරුව ඒ පිළිබඳව යළිත් කතාබහ මතුවී, මරුටි සමාගම මෙලෙස එය අලුත්වැඩියා කර ප්‍රදර්ශනයට තැබීමට පියවර ගෙන ඇත.

සමාගමේ වාර්තාවලට අනුව 1983 සිට 2014 දක්වා කාලය තුළදී ඉන්දියාව තුළ පමණක් මෙම මාදිලියේ රථ ලක්ෂ 27ක් අලෙවි කර තිබේ.

Visits: 178