කොමර්ෂල් බැංකුවේ ‘Millionaire’ ආයෝජන සැලසුම සඳහා නව තැන්පතු වටිනාකම් නිවේදනය කරයි

කොමර්ෂල් බැංකුවේ ජනප‍්‍රිය ‘Millionaire’ ආයෝජන සැලසුමේ පොලී අනුපාතය වාර්ෂිකව 15% ක් දක්වා වැඩිකිරීම හමුවේ මෙම සැලසුමේ රුපියල් 4,280 ක මාසික තැන්පතුවක් සිදුකිරීම මගින් රුපියල් මිලියනයක මුදලක් රැස්කර ගැනීමේ ඉලක්කය කරා ගමන් කිරීමට දැන් කොමර්ෂල් බැංකුවේ තැන්පතුකරුවන්ට අවස්ථාව හිමිවී තිබේ. 

මෙරට පොලී අනුපාතය වර්ධනය වීම හමුවේ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික වාණිජ බැංකුව වන කොමර්ෂල් බැංකුව විසින් අවුරුදු 02 සිට අවුරුදු 06 ක් දක්වා ආයෝජන සැලසුම් සඳහා නව මාසික තැන්පතු වටිනාකම් නිවේදනය කර තිබේ. මෙහිදී, තැන්පතුකරුවන් තම ගිණුම් වල ශේෂය ලෙස රුපියල් මිලියනයක් උපයාගත් විට ආයෝජන සැලසුම අවසන්වේ.   

මේ අනුව, වසර දෙකකට මාසිකව රුපියල් 35,600 ක් තැන්පතු කළහොත් වසර දෙක අවසන් වනවිට තැන්පතුකරුවාට රුපියල් මිලියනයක් ලබාදීමට බැංකුව සහතික වන අතර වසර දෙකක් සෑම මසකම රුපියල් 17,800 ක් තැන්පත් කළහොත් වසර දෙක අවසානයේදී රුපියල් 500,000 ක් ලබාදීමට බැංකුව සහතික වේ. එසේම, රුපියල් 17,800 ක් බැගින් වසර හතරක් තැන්පත් කළහොත් වසර හතර අවසානයේදී රුපියල් මිලියනයක් ලබාදෙන බව බැංකුව සඳහන් කරයි.

ඉලක්කගත කාලයක් තුළ බලාපොරොත්තු වන ප‍්‍රතිලාභයක් ලබාදීම සඳහා මෙම නම්‍යශීලී සහ පහසුවෙන් කළමනාකරණය කළ හැකි මෙම ආයෝජන සැලසුම හඳුන්වා දී තිබෙන අතර කොමර්ෂල් බැංකුවේ Millionaire ගිණුම මගින් රුපියල් 500,000 ක අවමයක් රැස් කර ගත හැකි අතර අවුරුදු 02, 03, 04, 05 හෝ අවුරුදු 06 යන කාලයක් තුල රැස් කර ගත හැකි ශේෂයට සීමාවක් පනවා නොමැත. 

මෙම අයෝජන සැලසුමේදී හදිසි අවශ්‍යතාවයක් ඇති වුවහොත් තැන්පතු කරුවන්ට තමන්ගේ ආයෝජන සැලසුම ක‍්‍රියාත්මක වන කාලයේදී තැන්පතු මුදලෙන් 75% ක් දක්වා ණය මුදලක් ලබාගත හැකි බව බැංකුව සඳහන් කරයි.

Visits: 140