Adani Ports තිරුවනන්තපුරම්හි වරායේ ඉදිකිරීම් සඳහා කේරල පොලිසියෙන් ආරක්ෂාව ඉල්ලයි

දකුණු ඉන්දියාවේ තිරුවනන්තපුරම් ප්‍රදේශයේ විෂින්ජාම්හි නෞකා භාණ්ඩ හුවමාරු වරායක් (Transshipment Port) ඉදිකිරීමේ ව්‍යාපෘතියක නිරත අදානි පෝර්ට්ස් (Adani Ports) සමාගම ඒ සඳහා පොලිස් ආරක්ෂාව ඉල්ලමින් කේරලේ ඉහළ අධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වෙයි.

මෙම විෂින්ජාම් වරායේ ඉදිකිරීම්වලට එරෙහිව ආසන්න සතියක කාලයක් පුරා එම ප්‍රදේශය ආශ්‍රිත ධීවර ප්‍රජාව සිදු කරන විරෝධතා මේ සඳහා හේතුව වි තිබේ. ඒ අනුව මෙම ධීවරයන්ගේ විරෝධතා හේතුවෙන් සිය ව්‍යාපෘතියේ සේවයේ නිරත සේවකයන්ගේ ජීවිත වෙත තර්ජනයක් එල්ල වී ඇතැයි අදානි පෝර්ට්ස් සමාගම සිදුකර ඇති එම ඉල්ලීමේ සඳහන්ව තිබේ.

එසේම මෙතෙක් ඉන්දියානු රජය මේ සම්බන්ධයෙන් පියවරක් නොගැනීම පිළිබඳවද අදානි පෝර්ට්ස් සමාගම සිය කණස්සල්ල පළ කර තිබේ. ඒ අනුව තමන් මෙලෙස පොලිස් ආරක්ෂාව ඉල්ලීමට යොමු වූ බවත් සමාගම වැඩිදුරටත් පවසයි.

ඉන්දියානු මාධ්‍ය වාර්තා කරන ආකාරයට මෙම වරාය ඉදිකිරීමට විරෝධය පළ කරමින් අතිවිශාල පිරිසක් පසුගිය සතිය පුරාම එම වරායේ ප්‍රධාන පිවිසුම් දොරටුව ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරත වී සිටියි. එහිදී ඔවුන් මෙම වරාය ඉදිකිරිම සම්බන්ධයෙන් කරුණු හතක් ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව මෙම වරාය ඉදිකිරීම වහාම නැවැත්විය යුතු බවත්, මෙම ව්‍යාපෘතිය හරහා එම ප්‍රදේශයේ වෙරළට සිදුවන හානිය සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදු කළ යුතු බවත් ඔවුන් මෙහිදී පවසා සිටියි. මෙම විරෝධතාකරුවන් පවසන ආකාරයට ආසන්න කාලසීමාවේදී සිය ප්‍රදේශයේ සිදුව තිබෙන දරුණු වෙරළ ඛාදනය සඳහා මුලිකවම හේතු වී ඇත්තේද මෙම ඉදිකෙරෙමින් පවතින විසින්ජාම් වරාය සඳහා අක්‍රමවත් ආකාරයෙන් ගොඩනැගෙන කෘත්‍රිම සාගර ඛාදන වාරක බවත් සඳහන් කර තිබේ.

මෙම ව්‍යාපෘතිය ආරම්භයේ සිටම එම ප්‍රදේශයේ ධීවර ජනතාවගෙන් ඊට චෝදනා එල්ල වූ අතර, මේ හේතුවෙන් බලපෑමට පත්වන ධීවරයන් වෙනත් ස්ථානයක පදිංචි කරවීම සඳහා ඉන්දියානු රජය සැලසුම් කර ඇතැයිද වාර්තා වෙයි.

Visits: 139