කොමර්ෂල් බැංකුවෙන් රුපියල් බිලියන 10ක් වටිනා ණයකර කොටස් නිකුතුවක්?

කොමර්ෂල් බැංකුව කොළඹ කොටස් හුවමාරුව තුළ අදියර දෙකක් යටතේ සිය ණයකර කොටස් නිකුතුවක් සිදු කිරිමට සූදානමින් සිටින බව පවසයි. ඊයේ (24දා) රැස්වුණු එම බැංකුවෙහි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ඒ සඳහා වන අනුමැතිය ලබාදී තිබේ.

ඒ අනුව මෙහි පළමු අදියර ලෙස බැංකුව මගින් පිරිමුදවාගතහැකි, අප්‍රධාන, බාසෙල් III අනුකූලවූ ණයකර කොටස් 50,000,000ක් ලැයිස්තුගත කිරීම සැලසුම වී තිබේ. මෙහිදී එක් ණයකර කොටසක් රුපියල් 100ක් බැගින් මිල කෙරී ඇති අතර, සමස්ත. නිකුතුවේ වටිනාකම රුපියල් බිලියන 5කි.

පැවරිය නොහැකි අකාරයෙන් ඉදිරිපත් කෙරෙන මෙම ණයකර නිකුතුව වසර 5, වසර 7 සහ වසර 10 යනාදී කල් පිරීමේ කාලයකින්ද සමන්විත වෙයි. මේ සඳහා ලබා දෙන වාර්ෂික පොළී අනුපාතයන් ප්‍රකාශ කෙරී නැත.

මේ අතර මෙම නිකුතුව වෙත හිමිවන අධිදායකත්වයත් සමගින්ම, ඉහත සඳහන් කළ ආකාරයේම තවත් ණයකර කොටස් 50,000,000ක් නිකුත් කිරීමට බැංකුව අදහස් කරගෙන සිටියි. එහිදීද ණයකර කොටසක් රුපියල් 100ක් බැගින් මිලකෙරී ඇති අතර සමස්ත නිකුත්වේ වටිනාකම රුපියල් බිලියන 5කි.

ඒ අනුව මෙම නිකුතු දෙක හරහාම රැස් කරගැනීමට බලාපොරොත්තු වන සමස්ත මුදල රුපියල් බිලියන 10කි.

කෙසේ වෙතත් අදාළ ණයකර නිකුතු සම්බන්ධයෙන් ඉදිරියේදීසිය කොටස් හිමිකරුවන්ගේ සහ කොළඹ කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් ලබාගත යුතුව ඇතැයිද කොමර්ෂල් බැංකුව වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Visits: 109