QR කේතය නිසා ඉන්ධන ටැංකිකරුවන් සහ පිරවුම්හල්කරුවන් අසීරුතාවට පත්වෙලා

ඉන්ධන සඳහා රජය විසින් හඳුන්වා දෙන ලද QR කේතය හේතුවෙන් අද වනවිට ඉන්ධන ටැංකිකරුවන් සහ පිරවුම්හල්කරුවන් අසීරුතාවකට පත්ව ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පෞද්ගලික ටැංකි හිමිකරුවන්ගේ සංගමයේ ලේකම් ශාන්ත සිල්වා මහතා පවසයි.

ඊයේ දිනයේදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඒ මහතා මේ බව පවසා සිටියේය. විශේෂයෙන්ම ඉන්ධන පරිභෝජනය සීමා වීම නිසා මෙලෙස ටැංකි හිමිකරුවන් සහ පිරවුම්හල් හිමිකරුවන් අසීරු තත්ත්වකට පත්ව තිබෙන බවත් ඔහු පෙන්වා දී තිබේ.

“මේ QR කේතය නිසා ඉන්ධන පරිභෝජනය සීමාවී තිබෙන නිසා අද වනවිට ඉන්ධන පිරවුම්හල් සඳහා ඉන්ධන ලබාදීම් 60%කින් පමණ අඩුවෙලා තිබෙනවා.ඉන්ධන ඇනවුම් නොලැබීම තුළ ඉන්ධන ප්‍රවාහනය සඳහා ටැංකිරථ ඉතාමත් අඩු දායකත්වයක් තමයි ලබා දෙන්නේ. ඒ නිසා මේ වෙන කොට ටැංකිරථකරුවන් සහ පිරවුම්හල්කරුවන් විශාල අර්බුදයකට පත්ව තිබෙනවා.” යනුවෙන් ඔහු පවසයි.

මේ අතර මහබැංකුව ප්‍රකාශ කර තිබෙන ආකාරයට මේ දක්වා මසකට ඉන්ධන ආනයනය කිරීම සඳහා වැයවූ ඩොලර් මිලියන 600ක මුදල අද වනවිට ඩොලර් මිලියන 250ක් දක්වා අඩුවී තිබෙන බව දැනගන්නට ලැබී තිබෙන බව පැවසූ ලේකම්වරයා, මෙ තීරණය ආර්ථිකය නගා සිටුවීමට ගත් තීරණයක් හේතුවෙන් ඊට සහයෝගය ලබා දෙන බවත් පවසා සිටියේය.

“මෙතැනදී ඉන්ධන පිරවුම්හල් ගැටලුවකට පත්වෙලා තිබෙන්නේ මීට පෙර එම ඉන්ධනපිරවුම්හල් හරහා ඉන්ධන මිලදී ගත් පෞද්ගලික බස් රථ සියල්ල මේ වනවිට ලංගම ඩිපෝ හරහා ඉන්ධන මිලදී ගැනීමට යොමුවීමයි.” යනුවෙන්ද ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙහිදී අපහසුතාවට ඇති වීම සඳහා හේතුව වී ඇත්තේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් ක්‍රමානුකූලව ඉන්ධන බෙදා හැරීමක් සිදු නොවීම බවත් ඔහු සඳහන් කළේය. “සිපෙට්කෝ ආයතනය මගින් ඉන්ධන පිරවුම්හල්වලට සතියකට ඩීසල් 6,600ක් සහ පෙට්‍රල් 6,600ක ටැංකි රථ දෙකක් පමණයි ලබා දෙන්නේ. ඒ කියන්නේ ඉන්ධන නිකුත් කිරිමත් 60%කින් පමණ අඩුවෙලා.”

Visits: 94