LOLC උප සභාපති ඉෂාර අප්‍රිකාවේ සිය ව්‍යාපාර මෙහෙයුම් සොයා බලයි

මෙරට ප්‍රමුඛ පෙළේ ක්ෂුද්‍ර මූල්‍ය සේවා සම්පාදකයෙකු වන LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම අගෝස්තු මාසය ආරම්භයේ සිට සිය අප්‍රිකානු කලාපීය ක්ෂුද්‍ර මූල්‍ය මෙහෙයුම් තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් එම රටවල ව්‍යාපාරික විමසුම් සහ ඉදිරි සැලසුම් හමු කිහිපයක්ම සංවිධානය කළ බව පවසයි.

LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ උප සභාපති ඉෂාර නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සහභාගිත්වයෙන් පැවැත්වුණු මෙම වැඩසටහන් සඳහා එම සමාගමේ ඉහළ ජ්‍යෙෂ්ට කළමනාකරණ කණ්ඩායමක්ද සම්බන්ධවී තිබේ.

ඒ අනුව මෙම හමුවීම්හි ආරම්භය ලෙස ඊජිප්තුවේ ක්‍රියාත්මක LOLC EL-OULA Microfinance සමාගමේ ව්‍යාපාර විමසුම් සහ සැලසුම් හමුවක් පසුගිය අගෝස්තු 3 සහ  4 දෙදින තුළදී සංවිධානය වී තිබේ. කයිරෝ නුවර ශාන්ත රෙගිස් හෝටලයේදී පැවැත්වුණු මෙම හමුව සඳහා LOLC උප සභාපති ඉෂාර නානායක්කාර මහතාද සහභාගි වී තිබේ.

එසේම මෙහි දෙවැනි හමුව ලෙස ටැන්සානියාවේ Tujijenge Tanzania සමාගමේ ව්‍යාපාරික මෙහෙයුම් පිළිබඳව උපායමාර්ගික සැලසුම් හමුවක් පසුගිය අගෝස්තු 5 සහ 7 දෙදින තුළදී පැවැත් වී තිබේ. දාර් එස් සලාම් අගනුවර පිහිටි Hyatt Regency Kilimanjaro හෝටලයේදී මෙම හමුව සංවිධානය වී තිබේ.

එසේම තෙවැනි හමුව ලෙස සිම්බාබ්වේහි ක්‍රියාත්මක Yambukai Finance Zimbabwe හි විශේෂ කළමනාකරණ හමුවක් අගෝස්තු 10 වැනිදා හරාරේ අගනුවර Meikles හෝටලයේදී පැවැත් වී තිබේ. මේ සඳහා එම සමාගමේ ඉහළ කළමනාකාරීත්වය ඇතුළු කණ්ඩායමක් සම්බන්ධ වී ඇත.

ඉන් අනතුරුව සිව්වැනි හමුව ලෙස පසුගිය අගෝස්තු 15 වැනිදා LOLC Finance Ltd Malawi හි විශේෂිත උපායමාර්ගික සැලසුම් හමුවක් සංවිධානය වී තිබේ. ලිලොන්ග්වේහි පිහිටි Bingu Wa Mutharika ජාත්‍යන්තර සම්ම්න්ත්‍රණශාලා මධ්‍යස්ථානයේ දී (BICC) මෙම හමුව සංවිධානය වී ඇති අතර, මේ සඳහාද LOLC සමූහයේ උපසභාපති ඉෂාර නානායක්කාර මහතා සහ එහි ජ්‍යෙෂ්ඨ කළමනාකරණ කණ්ඩායමක් සම්බන්ධවී තිබේ.

එසේම අප්‍රිකානු කලාපය තුළ LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සිය පස්වැනි හමුව ලෙස සැම්බියාවේ පිහිටි LOLC Finance Zambia සමාගම සඳහා වන විශේෂිත උපායමාර්ගික සැලසුම් හමුවක් පවත්වා තිබේ. අගොස්තු 16 වැනිදා සිට 19 වැනිදා දක්වා දින තුනක් පුරා පැවැති මෙම හමුව එරට ලුසාකා අගනුවර පිහිටි Raddison Blu හෝටලයේදී පැවැත්වී තිබේ.

Visits: 212