Apple සිය නවතම iPhone 14 ඉන්දියාව තුළදීත් නිපදවීමේ සූදානමක

එක්සත් ජනපදයේ Apple Inc.සමාගම සිය නවතම Apple iPhone 14 උපාංගය ඉන්දියාව තුළ නිපදවීම සඳහා සැලසුම් කර ඇතැයි පවසයි. ඒ අනුව බොහෝ විට ලබන ඔක්තෝබර් මාසයේදී පමණ එම නිෂ්පාදන වෙළෙඳ පොළට නිකුත් කිරීම අදහස වී තිබේ.

එහිදී මූලිකවම ලබන සැප්තැම්බර් මාසයේදී චීනයේ නිෂ්පාදිත මෙම Apple iPhone 14 පළමු තොගය වෙළෙඳ පොළට නිකුත් කෙරී මාස දෙකකට පසුව ඉන්දියාව තුළ එම උපාංග නිෂ්පාදන කටයුතු අරඹන බව ඇපල් සමාගම පවසයි.

ඒ අනුව මේ වනවිටත් ඇපල් සමාගම සිය සැපයුම්කරුවන් සමගින් කටයුතු කරමින් ඉන්දියාව තුළ එම උපාංග නිපදවීමේ කටයුතු සඳහා මූලික පියවර ගෙන ඇතැයිද සඳහන් වෙයි.

විශේෂයෙන්ම ඇපල් සමාගමේ මෙම තීරණයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ චීනය සහ එක්සත් ජනපදය අතර පවතින භුදේශපාලනික මතගැටුම් තත්ත්වය බව ඉන්දියානු මාධ්‍ය සඳහන් කරයි. අද වනවිට ඇපල්නිෂ්පාදන අතරින් වැඩිම ප්‍රමාණයක් නිපදවන්නේ චීනය තුළදීය. තායිවානයේ පිහිටි Foxconn සමාගම එහි මූලිකයාය.

ඒ අනුව සිය ඇපල් උපාංග නිෂ්පාදනය සඳහා විකල්පයක් ලෙස එම සමාගම මෙලෙස ඉන්දියාව තෝරා ගෙන ඇතැයි එම මාධ්‍ය වැඩිදුරටත් පවසයි.

මේ අතර අද වනවිට ඉන්දියාව තුළ චීනයේ නිෂ්පාදිත ජංගම දුරකතන උපාංග සම්බන්ධයෙන් වන සීමා සහ නීති පැනවීම් සම්බන්ධයෙන් අවධානය යොමු කරමින්, සිය ඉන්දියානු වෙළෙඳ පොළ තවදුරටත් ආරක්ෂා කරගැනීමේ අරමුණින් Apple Inc. සමාගම මෙලෙස සිය නවතම නිෂ්පාදනය එරටදීද නිපදවන්නට තීරණය කරන්නට ඇතැයි බොහෝ දෙනෙකුගේ අදහස වී තිබේ. මීට අමතරව ඉදිරියේදී Apple iPad උපාංගයද ඉන්දියාවේදී නිපදවීම සැලසුම වී ඇත.

ඇපල් සමාගම ඉන්දියාව තුළ සිය නිෂ්පාදන කටයුතු ඇරඹුවේ 2017 වසරේදීය. ඒ අනුව දකුණු ඉන්දියාවේ චෙන්නායි නුවරදී එහි කර්මාන්තශාලාව පිහිටවුණි. එහිදී ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි විසින් ආරම්භ කරන ලද Make in India වැඩසටහන යටතේ ඇපල් සමාගම වෙත බොහෝ මූල්‍යමය සහන ලබාදීමද සිදු විය.

Visits: 94