කොමර්ෂල් බැංකුව, ෆ්ලෑෂ් ඩිජිටල් ගිණුම ඔස්සේ ‘Wearable banking’ හඳුන්වා දෙයි

ශී‍්‍ර ලාංකේය බැංකුකරණයේ නව පෙරළියක් සනිටුහන් කරන බැංකුකරණ සේවා අන්තර්ගත පැළදිය හැකි තාක්ෂණය (Wearable technology) හඳුන්වා දෙමින් කොමර්ෂල් බැංකුව ඩිජිටල් නවෝත්පාදනය නව තලයකට රැගෙන ගොස් ඇත.

මේ අනුව, කොමර්ෂල් බැංකුව විසින් මෙරට පළමු ‘Wearable banking’ නිපැයුම සඳහා ෆ්ලෑෂ් ඩිජිටල් බැංකු ගිණුමේ තෝරාගත් පහසුකම් ඇපල් ස්මාර්ට් වොච් සමඟ අන්තර්ගත කිරීමට ඩිජිටල් පේමන්ට් සර්විසස් ප‍්‍රයිවට් ලිමිටඞ් සමාගම සමඟ ඒකාබද්ධ වී ඇත.  

iPhone දුරකථන වලට සම්බන්ධ ඇපල් ස්මාර්ට් වොච් පළඳින ෆ්ලෑෂ් ඩිජිටල් බැංකු ගිණුම් හිමියන්ට එම අත් ඔරලෝසුවල ස්කී‍්‍රන් එකෙන් තම ගිණුමේ ශේෂය, ගෙවීම් සඳහා ඉල්ලීම් සහ අරමුදල් හුවමාරු කිරීමේ ඉල්ලීම් නැරඹිය හැකි බව බැංකුව සඳහන් කරයි.

‘අසීමිත නවෝත්පාදන අවස්ථා සහිත ගමනක මුල් පියවර මෙය වන නිසා අපි මේ නවතම නවෝත්පාදනය ගැන උද්දාමයට පත්වෙනවා,’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිළධාරී, සනත් මනතුංග මහතා පැවසීය. ‘තාක්ෂණික ලෝකයේ ස්මාර්ට් වොච් අමුතු දෙයක් නෙවෙයි. විශාල පාරිභෝගික කාණ්ඩයක පහසුව උදෙසා මෙවැනි තාක්ෂණයන් භාවිතය වර්ධනය වෙමින් පවතිනවා. ඉදිරියේදී මෙම අංශය තවදුරටත් වර්ධනය වනු ඇතැයි අපි අපේක්ෂා කරනවා. මෙරට ඩිජිටල් බැංකුකරණයේ නායකයෙකු ලෙස තවත් නව්‍ය වූ බැංකුකරණ ක‍්‍රමයක් වන Wearable banking මෙරටට හඳුන්වාදීමට හැකිවීම පිළිබඳව කොමර්ෂල් බැංකුව සතුටට පත් වෙනවා.’    

මෙම වැඩසටහනේ මුල් අදියරේදී ගිණුමේ ශේෂය පරීක්ෂා කිරීමට සහ අරමුදල් හුවමාරු ඉල්ලීම් පිළිගැනීමට පමණක් අවස්ථාව ලබාදුන්නත් ඉදිරියේදී මේ සඳහා බිල්පත් ගෙවීම් සහ තමන්ගේම ගිණුම් වලට පේ‍්‍රෂණය කිරීම වැනි පහසුකම්ද ඇතුළත් කිරීමට බැංකුව අවධානය යොමු කරමින් තිබේ. එවැනි පහසුකම් වර්ධනය වීමත් සමග පළඳින බැංකුකරණයේ ප‍්‍රයෝජනවත් බව ඉදිරියේදී තවත් වැඩි වනු ඇති බව මනතුංග මහතා පැවසීය.  

Visits: 60