කොටස් 12,938,371ක් සමගින් මැලේසියාවේ යේඕහ් කිම් ලෙන්ග් රම්බොඩ ෆෝල්ස් සභාපති ධුරයට

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත රම්බොඩ ෆෝල්ස් පීඑල්සී (RFL.N0000) සමාගමෙහි නව විධායක සභාපතිවරයා ලෙස යෙඔහ් කිම් ලෙන්ග් පත් කරගත් බව එම සමාගම පවසයි. 2022 අගෝස්තු 19 වැනිදා සිට බලාත්මක වන පරිදි මෙම නව පත් කිරීම සිදුව තිබේ.

මෙතෙක් කලක් රම්බොඩ ෆෝල්ස් සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ටී. ඉගරාෂි මහතා වෙනුවට මෙම නව පත් කිරීම සිදුව තිබේ. ධුරයෙන් ඉවත්වන අවස්ථාව වන විට ඒ මහතා සතුව සමාගමේ කොටස් 100,000ක හිමිකාරීත්වයක් පැවැති බව සඳහන් වෙයි.

මේ අතර අලුතින් පත්වූ සභාපති යෙඔහ් කිම් ලෙන්ග් මහතා සතු කොටස් ප්‍රමාණය 12,938,371 කි. ඒ යටතට දැනටමත් අත්පත් කරගෙන ඇති කොටස් 10,800,816ක ප්‍රමාණය සහ ඉදිරියේදී අත්පත් කරගැනීම සඳහා නියමිත සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 2,137,555ක්ද අයත් වෙයි.

ඒ මහතා විසින් පසුගිය ජූනි මාසයේදී රුපියල් මිලියන 278ක මුදලක රම්බොඩ ෆෝල්ස්හි 52෴ක කොටස් ප්‍රතිශතයක් මිලදී ගත්තේය. එසේම තවත් කොටස් 11.69෴ක ප්‍රතිශතයක් මිලදී ගැනීම සඳහා ඒ මහතා කටයුතු කර ඇති අතර, පසුගිය ජූලි 25 වැනිදාවනවිට ඒ මහතා සතුව ඇති රම්බොඩ ෆෝල්ස් පීඑල්සී සමාගමෙහි සමස්ත කොටස් හිමිකාරීත්ය කොටස් 64.69෴කි.

69 හැවිරිදියේ පසුවන  මැලේසියානු ජාතික ආයෝජකයෙකුවන යේඕහ් කිම් ලෙන්ග් මේ වනවිට ශ්‍රී ලංකාවේ රම්බොඩ ෆෝල්ස් පීඑල්සී සමාගමට අමතරව තවත් සමාගම් කිහිපයකම ප්‍රධාන කොටස්හිමිකරුවා මෙන්ම සභාපතිවරයා ලෙසද කටයුතු කරයි. මැලේසියාවේ ChlorTech Sdn Berhad, තායිලන්තයේ Caleb Thai Company Limited සහ චීනයේ Linghai Hetai Equipment and Engineering යන සමාගම් ඒවා වෙයි.

මෙම අත්පත් කරගැනීමත් සමගින්ම යෙඕහ් කිම් ලෙන්ග් මහතා නැගෙනහිර ආසියානු කලාපීය සංචාරකතයන් ශ්‍රී ලංකාව වෙත ආකර්ශණය කරගැනීම සඳහා කටයුතු යොදනු ඇතැයිද රම්බොඩ ෆෝල්ස් පීඑල්සී සමාගම සඳහන් කරයි.

මෙම පත් කිරීමට අමතරව අගෝස්තු 19 වැනිදා සිට බලාත්මක වන පරිදි සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් සඳහා නව පත් කිරීම් කිහිපයක්ද සිදු කර තිබේ.

ඒ අනුව සමාගමේ නව විධායක අධ්‍යක්ෂවරයා ලෙස ජේ.ඒ.ඩී. විරාජ් රසංග මහතාත්, විධායක නොවන අධ්‍යක්ෂවරුන් ලෙස ලී  වායු සින් සහ ඩබ්ලිව් ජී. ධනපාල යන මහත්වරුන් පත් කෙරී ඇත.

Visits: 336