තිරිඟු පිටි මිල අධික වීම නිසා ජපානයේ Pizza Hut සහල්වලින් පීසා හදයි

ජපානයේ Pizza Hut අලෙවි සැල් ජාලය සිය පාරිභෝගිකයන් සඳහා තිරිඟු පිටි වෙනුවට සහල් යොදා ගනිමින් සැකසූ මිනි පීසා ලබාදීමට සූදානමින් සිටින බව පවසයි. ලබන අගෝස්තු 22 වැනිදා සිට මෙම පීසා එම අලෙවිසැල් තුළ අලෙවි කිරීම සැලසුම වී තිබේ.

විශේෂයෙන්ම රුසියාවේ යුක්රේන ආක්‍රමණයත් සමගින් ලෝක වෙළෙඳ පොළේ තිරිඟු පිටි මිල ගණන් ඉහළ යාමත් සමගින්ම මතුව තිබෙන තත්ත්වය ජපානයේ Pizza Hut අලෙවි ජාලයට මෙම පියවරට යොමුවීමට හේතුව වී තිබේ.

මෙලෙස සහල් යොදා ගෙන සකස් කෙරෙන පීසා ඌරු මස් (Iberico Pork) සහ කුකුළු මස් (teriyaki chicken) ලෙස වර්ග දෙකකින් ඉදිරිපත් කෙරේ. මෙය හඳුන්වාදීමක් ලෙස සති හයක කාලයක් පවත්වාගෙන යාම සැලසුම වී තිබේ. එහිදී පාරිභෝගිකයන්ගේ ඉල්ලුම අනුව එය එදිනෙදා වට්ටෝරුව වෙත එකතු කිරීම සැලසුම වී තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන Pizza Hut Japan Ltd. හි ප්‍රකාශකවරයා, “ජපාන පාරිභෝගිකයන් සඳහා වඩාත් ගැලපෙන නිෂ්පාදන ඉදිරිපත් කරන්නේ කොහොමද කියන දේ අපි සැමවිටම කල්පනා කරනවා. එතැනදී සහල් කියන්නේ ඉතාමත් හොඳින් ගැලපෙන දෙයක්.” යනුවෙන් පවසා ඇත.

රුසියාවේ යුක්රේන ආක්‍රමණයත් සමගින්ම ලෝක වෙළෙඳ පොළේ තිරිඟු පිටි මිල ගණන් අධික ලෙස ඉහළ යාම සිදුව තිබේ. මෙය ලොව පුරා බේකරි ආශ්‍රිත නිෂ්පාදන වෙත දරුණු බලපෑමක් එල්ල කර ඇති අතර, ඇතැම් රටවල බේකරිකරුවන් සිය පාන්, පේස්ට්‍රි සහ පැස්ටා නිෂ්පාදන සඳහා අඩුමිල විකල්ප වෙත යොමුව තිබෙන බවත් සඳහන් වෙයි.

කෙසේ වෙතත් ජපාන පීසා සමාගම සිය නිෂ්පාදන සඳහා අවශ්‍ය සහල් එරට තුළින්ම සපයා ගන්නා අමුද්‍රව්‍යයක් ලෙස සැලකෙයි. එසේම තිරිඟු පිටි හා සාපේක්ෂව ජපානය තුළ සහල් මිල ගණන් පහළ අගයක පවතී.

Visits: 100