LMD සඟරාවේ වඩාත් ගෞරවාදරයට ලක්වූ බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව 18 වැනි වරටත් නම් වෙයි

සුප‍්‍රකට LMD සඟරාව විසින් වාර්ෂිකව සිදුකරන සමීක්ෂණයකට අනුව පිට පිටම 18 වන වසරටත් ශ‍්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවාදරයට ලක්වූ බැංකුව ලෙස 2022 වසරේදී කොමර්ෂල් බැංකුව තෝරාගෙන තිබෙන අතර සමස්ත සමාගම් ලයිස්තුවේ මෙවරත් සිව්වන ස්ථානය රඳවා ගැනීමට බැංකුව සමත්ව තිබේ.

මීට අමතරව, මෙම වර්ගීකරණය කිරීම සඳහා සඟරාව විසින් සලකා බලන කරුණු 12 අතුරින් මූල්‍ය කාර්යසාධනය, අවංකත්වය සහ දැක්ම අනුව බැංකුව සමස්තයක් ලෙස දෙවන ස්ථානයට පත්ව ඇත. මීට අමතරව, මෙම වර්ගීකරණය සඳහා සලකා බැලූ කරුණු අතුරින් තවත් කරුණු 07 කින් බැංකුව සමස්තයක් ලෙස පළමු ආයතන 05 අතරට 2022 වසරේදී පත්ව තිබෙන අතර මූල්‍ය කාර්යසාධනය, ගුණාත්මක හැඟීම, කළමනාකරණ දැක්ම, අවංකත්වය, ආයතනික සංස්කෘතිය, ආයතනික සමාජ වගකීම සහ තිරසාරත්වය, දැක්ම, මානව සම්පත් සහ පිරිස් කළමනාකරණය මෙන්ම අර්බුද කළමනාකරණය ඇතුළු සලකා බැලූ කරුණු 09 ක් අතුරින් ඉහළම ස්ථානය ලබාගත් බැංකුව බවට ද මෙහිදී පත්වී තිබේ.    

මෙම නවතම ජයග‍්‍රහණය පිළිබඳව කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිළධාරී, සනත් මනතුංග මහතා මෙසේ අදහස් දැක්වීය. ‘කොමර්ෂල් බැංකුව විසින් මෙවැනි ගෞරවයක් ලබාගත්තේ කැපවීම, අවංකත්වය, යහ ක‍්‍රමවේද, ඉහළම ගුණාත්මක තත්ත්වයන් පවත්වාගැනීම සහ නිවැරදි දේ කිරීම තුළිනුයි. මේ අවස්ථාවේ රට තුළ තිබෙන අසීරු සමාජ සහ ආර්ථික වාතාවරණය තුළ වුවත් ‘ජාතික දැක්ම’ අනුව බැංකුව සමස්තයක් ලෙස සිව්වන ස්ථානයට පත්වී තිබෙනවා. මෙය බැංකුව විසින් භාවිතා කරන තිරසාර ව්‍යාපාරික ක‍්‍රමවේද සහ ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවයන් පිළිබඳව තිබෙන ගැඹුරු අවබෝධය ඇතුළු ඉහළම ප‍්‍රමිතීන් පවත්වාගෙන යාම වෙනුවෙන් බැංකුවේ කැපවීමට ලැබුණු සහතිකයක් ලෙස සඳහන් කළ හැකියි.’   

LMD අවධාරණය කර තිබෙන්නේ ගනුදෙනුකරුවන් පිළිබඳ අවධානය, ගනුදෙනුකරුවන් සමග ඩිජිටල් ආකාරයෙන් සම්බන්ධවීම සහ මෙහෙයුම් විශිෂ්ටත්වය තුළින් කොමර්ෂල් බැංකුව කොවිඩි-19 වසංගත සමයේදී කැපී පෙනෙන මෙහෙයුම් රඳවාගැනීමක් කිරීමට සමත්වී තිබෙන බවයි.

Visits: 42