සේවා අපනයන ලැබීම් අනිවාර්යයෙන්ම රුපියල් කිරීමේ අවශ්‍යතාව ඉවත් කෙරේ

මෙරටට ලැබෙන සේවා අපනයන ලැබීම්/ඉපැයීම් අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීමේ අවශ්‍යතාව 2022 අගෝස්තු 12 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ඉවත් කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

කෙසේ වෙතත් සේවාව ලබාදුන් සිට දින 180ක් ඇතුළත එම සේවා අපනයන ඉපැයීම් රට තුළට ලබා ගැනීමේ අනිවාර්යය අවශ්‍යතාවය නොවෙනස්ව පවතින බව මහ බැංකුව අවධාරණ කරයි.

ඒ අනුව ශ්‍රී ලංකාව වෙත රැගෙන ආ ඔවුන්ගේ අපනයන ඉපැයීම් අවසරලත් කාර්යයන් සඳහා භාවිත කළ හැකි බවත් මහ බැංකුව සඳහන් කරයි.

තම අපනයන ඉපැයීම් රට තුළට ගෙන ඒම සඳහා සේවා අපනයනකරුවන් දිරිමත් කිරීමේ අදහසින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙම නියෝගය පනවා තිබුණි.

මේ අතර, බැංකු විසින් වාර්තා කරනු ලබන තොරතුරුවලට අනුව, මෙලෙස සේවා අපනයන ඉපැයීම් ශ්‍රී ලංකා රුපියල් වෙත පරිවර්තනය කිරීම අනිවාර්යය කෙරුණු මේ වසරේ පළමු මාස හය තුළදී, එම අපනයනය ලැබීම් ලෙස එක්සත් ජනපද ඩොලර් මිලියන 1,533ක් මෙරටට ලැබී තිබේ. ඉන් ඩොලර් මිලියන 406ක් රුපියල් බවට පරිවර්තනය කෙරී ඇත.

මේ අතරින් ඉහළම මාසික සේවා අපනයන ඉපැයීම් වන ඩොලර් මිලියන 324ක මුදල මේ වසරේ මාර්තු මාසයේදී හිමිව තිබේ.

කෙසේ වෙතත් සියලුම අපනයන ඉපැයීම් මෙම අවශ්‍ය මොහොතේ රටට ගෙන්වා ගැනීමට සියලුම අපනයනකරුවන් දිරිමත් කිරීමේ අරමුණින්, අපනයන ඉපැයීම් දින 180ක් තුළදී ගෙන ඒමේ අනිවාර්යය අවශ්‍යතාව තවදුරටත් පවත්වාගෙන යන බවත් සමාගම සඳහන්කරයි.

එහිදී අපනයනකරුවන් සහ අවසරලත් වෙළෙදුන් විසින් අදාළ අවශ්‍යතාව සමග අනුකූල වීම සැමවිටම අධීක්ෂණය කිරීමේ කටයුතු ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තීව්‍ර කර ඇතැයිද පවසයි.

Visits: 109