එලෝන් මස්ක් මැන්චෙස්ටර් යුනයිටඩ් පාපන්දු කණ්ඩායම මිලදී ගැනීමේ සූදානමක

ලොව අංක එකේ පොහොසතා ලෙස සැලකෙන Tesla විදුලි මෝටර් රථ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී එලෝන් මස්ක් ලොව සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය පාපන්දු කණ්ඩායමක් වන මැන්චෙස්ටර් යුනයිටඩ් අයත් මැන්චෙස්ටර් යුනයිටඩ් පීඑල්සී සමාගම මිලදී ගැනීමට සූදානමින් සිටින බව පවසයි.

අද දිනයේදී සිය ටිවිටර් ගිණුම හරහා සටහනක් තබමින් එලෝන් මස්ක් මේ බව පවසා සිටියි. “මම මැන්චෙස්ටර් යුනයිටඩ් මිලදී ගන්නවා, ඔබගේ අදහස මම පිළිගන්නවා.” යනුවෙන් එහි සටහන්ව තිබේ.

මැන්චෙස්ටර් යුනයිටඩ් පාපන්දු කණ්ඩායම ලොව ඉහළ ප්‍රේක්ෂක සහයෝගීත්වයක් සහිත පාපන්දු කණ්ඩායමකි. එසේම අවස්ථා ගණනාවකදීම පාපන්දු ශූරයන් බවට පත්වීමටද එය සමත්ව තිබේ. ලොව ජනප්‍රිය පාපන්දු තරු රැසක්ම එම කණ්ඩායම හා සම්බන්ධව සිටියි.

වර්තමානයේදී මැන්චෙස්ටර් යුනයිටඩ් පාපන්දු කණ්ඩායමේ හිමිකරුවන් වන්නේ ඇමෙරිකාවේ ග්ලේසර් පවුලයි. ඊයේ දිනයේ නිව්යෝර්ක් නුවර කොටස් හුවමාරුව නිමාවේදී එම පාපන්දු කණ්ඩායමේ වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය එක්සත් ජනපද ඩොලර් බිලියන2.08ක් ලෙස සටහන්ව තිබුණි.

ග්ලේසර් පවුලේ සාමාජිකයන් විසින් එක්සත් ජනපද ඩොලර් මිලියන 955.1ක මුදලකට මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම මිලදී ගත්තේ 2005 වසරේදීය. විදෙස් මාධ්‍ය සඳහන්කරන ආකාරයට එම අවස්ථාවේදී කණ්ඩායම ක්‍රීඩා පිටිය තුළදී අසාර්ථක තත්ත්වයට පත්වූ අවස්ථාවකි.

කෙසේ වෙතත් ආසන්න වසර කිහිපයේදී මැන්චෙස්ටර් යුනයිටඩ් ප්‍රේක්ෂකයන් ග්ලේසර් පවුලට එරෙහිව විරෝධතාවේ නිරත වූ අතර, ඇතැම් පිරිස් මැන්චෙස්ටර් කණ්ඩායම මිලදී ගන්නා ලෙසද එලෝන් මස්ක්ගෙන් ඉල්ලිම් පවා සිදු කර තිබුණි.

විශේෂයෙන්ම මස්ක් ලොව ජනප්‍රිය කෙටි පණිවුඩ හුවමාරු වැඩසටහන අයත් ට්විටර් ඉන්කෝපරේෂන් සමාගම ඩොලර් බිලියන 44ක මුදලකට මිලදී ගැනීමට සූදානම් වෙද්දී ප්‍රේක්ෂකයන්එම ඉල්ලීම ඉදිරිපත් කර තිබුණි.

ඒ අනුව මෙය මැන්චෙස්ටර් යුනයිටඩ් ප්‍රේක්ෂකයන්ගේඉල්ලීමකට කන්දීමක් ලෙස මස්ක් ගත් පියවරක් විය හැකි බවටත් අදහසක් පවතී.

මේ අතර ග්ලේසර් පවුලත් පසුගියදා මැන්චෙස්ටර් යුනයිටඩ් පීඑල්සී සමාගම අලෙවි කිරීම සඳහා ගැනුම්කරුවෙකු සොයමින් සිටින බව පවසා ඇති අතර, එහිදී අඩුම මිල ලෙස සටහන් කෙරී ඇත්තේ ඩොලර් බිලියන 4.85ක මුදලකි.

Visits: 87