ධීවර සංස්ථාව pick me සමග එක්ව online ක්‍රමයට මත්ස්‍ය අලෙවිය අරඹයි

ලංකා ධීවර සංස්ථාව විසින් පාරිභෝගිකයා වෙත වඩාත් කාර්යක්ශම සේවාවක් ලබා දීම අරමුණු කරගෙන pick me ආයතනය සමග ඔන්ලයින් ක්‍රමයට මත්ස්‍ය අලෙවිය ආරම්භ කළ බව පවසයි. අද (අගෝස්තු 15) දින බම්බලපිටිය ධීවර වෙළෙද සැලේදී මෙම කටයුතු සිදුව තිබේ.

ධීවර අමාත්‍යංශ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය ඇතුලු ධීවර සංස්ථාවේ සභාපති චතුරංග උඩවත්ත මහතා සහ pick me ආයතනයේ ප්‍රවාහන මෙහෙයුම් නිලධාරි ඉසිර පෙරේරා ඇතුලු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගිවී තිබේ.

මෙහිදී අදහස් දක්වා ඇති ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා, online ක්‍රමයට ජනතාවට අවශ්‍ය මත්ස්‍ය ආහාර ලබාදීමට කටයුතු කිරීම තුළින් ධීවර සංස්ථාව මත්ස්‍ය අළෙවිය සම්බන්ධයෙන් ඉදිරි පියවරක් ගෙන ඇති බවත්, මේ තුළින් ජනතාවගේ ප්‍රෝටීන අවශ්‍යතාවය සපුරාලීම සදහා රජය දරන්නා වු උත්සාහයට විශාල සේවයක් වන බවද ප්‍රකාශ කර තිබේ.

දිවයින වටා ඇති සාගරය තුළ මත්ස්‍ය සම්පත නෙලා ගැනීම හා ඒවා සාධාරණ මිළට පාරිභෝගිකයන්ට ලබාදීමේ වගකීම ධීවර අමාත්‍යංශයට පැවරී ඇතිබව ප්‍රකාශ කළ අමාත්‍යවරයා, දිවයින පුරා විහිදි ඇති ලංකා ධීවර සංස්ථාවේ අළෙවිසැල් ජාලය හරහා මසුන් සාධාරණ මිළට ලබා දීම සදහා සහනදායි බඡට් පැක් ක්‍රමය හදුන්වා දී ඇතැයිද පැවසීය.

වැඩිදුරටත් අදහස් දක්වා ඇති අමාත්‍යවරයා, මසුන් අළෙවිය සදහා pick me හා Uber වැනි ආයතන සම්බන්ධ කර ගැනීම තුළින් පාරිභෝගික මත්ස්‍ය නිෂ්පාදනය තවදුරටත් ඉහළ නැංවිය හැකි බවත්, සෞඛ්‍ය ආරක්ෂිත සුහදශීලී සේවාවක් මගින් මෙම සේවාව ලබාදීමට කටයුතු කරන බවත්, මෙම සේවාවන් තුළින් සහන සලසා ගන්නා ලෙස ද පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටින බව ප්‍රකාශ කර තිබේ.

Visits: 54