මුකේෂ් අම්බානි සහ සුන්දර් පිචායි ලෝඩ්ස්හිදී එකිනෙකා හමුවෙයි – ‘The Hundred‘ ලීගයට ආයෝජන සූදානමක්?

ඉන්දියාවේ ධනවතුන් අතර දෙවැනි ස්ථානයේ පසුවන මුකේෂ් අම්බානි සහ ගූගල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සුන්දර් පිචායි අතර හමුවක් පසුගියදා එංගලන්තයේ ලෝඩ්ස් පිටියේදී සිදුව ඇතැයි ඉන්දියානු මාධ්‍ය පවසයි.

ඉන්දියානු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පුහුණුකරුවා වන රවී ශාස්ත්‍රි සිය ට්විටර් ගිණුම හරහා ප්‍රසිද්ධියට පත් කළ ඡායාරූපයක මෙම දෙපළ එකට එක්ව සිටින ආකාරය දැකගත හැකිය. එහිදී සටහනක් තබන රවී ශාස්ත්‍රි “මේ අගෝස්තුවේදී ක්‍රිකට්වලට ආදරය කරන දෙදෙනෙකු (මුකේෂ් අම්බානි සහ සුන්දර් පිචායි) සමගින් එකට එක්වීමට අවස්ථාව ලැබුණා.” යනුවෙන් පවසා තිබේ.

රවී ශාස්ත්‍රි ඉදිරියේදී ආරම්භවීමට නියමිත එංගලන්තයේ The Hundred ක්‍රිකට් ලීගයේ විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කිරිම සඳහා SkySports නාලිකාව හා සම්බන්ධව සිටියි. එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය මගින් සංවිධානය කරන මෙම තරගාවලියේදී එක් ඉනිමක් පන්දු 100කට සීමාව ක්‍රියාත්මක වන්නකි.

ඉන්දියානු මාධ්‍ය සඳහන් කරන ආකාරයට මුකේෂ් අම්බානිගේ මෙම එංගලන්ත ගමන සහ සුන්දර් පිචායි හමුවීම බොහෝ දුරට The Hundred ක්‍රිකට් ලීගය සඳහා මුදල් ආයෝජනය කිරීමේ සාකච්ඡාවක් විය හැකි බවටත් තොරතුරු පවසයි.

විශේෂයෙන්ම මුකේෂ් අම්බානිගේ රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස් සමාගම දැනට ලොව රටවල් තුනක ක්‍රියාත්මක මුල් පෙළේ T20 ක්‍රිකට් ලීග තුනකම කණ්ඩායම් තුනක හිමිකාරීත්වය ලබා ගැනීමට සමත්ව සිටියි. ඉන්දියාවේ ක්‍රිකට් පාලක මණ්ඩලය මගින් පවත්වන IPL ලීගය (එහි මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ හිමිකාරීත්වය), එක්සත් අරාබි එමීරයේ ක්‍රිකට් පාලක මණ්ඩලය මගින් සැලසුම් කර ඇති UAE T20 ලීගය සහ දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන T20 ලීගය ඒ අතර වෙයි.

මේ අතර පසුගිය මාසයේදී දකුණූ අප්‍රිකාවේ T20 ලීගයේ කණ්ඩායමක හිමිකාරීත්වය ලබා ගැනීමේ අවස්ථාව සම්බන්ධයෙන් අදහස් දක්වා සිටි රිලයන්ස් ජියෝ සමාගමේ සභාපති ආකාෂ් අම්බානි, මෙවැනි ක්‍රිකට් ලීග සම්බන්ධයෙන් වන අත්දැකීම සහ ගැඹුරු දැනුම තවදුරටත් වර්ධනය කරගැනීම සඳහා ඉදිරියේදී කටයුතු කරන බවත්, ඒ හරහා මුම්බායි ඉන්දියන්ස් සන්නාමය තවදුරටත් ප්‍රචලිත කිරිමට සහ එහි ප්‍රේක්ෂකයන් වෙත හොඳ ක්‍රිකට් අත්දැකීමක් ලබාදීමත් අරමුණ බවත් ඔහු පවසා තිබේ.

ඉන්දියානු මාධ්‍ය වාර්තා කරන ආකාරයට මුකේෂ් අම්බානිගේ රිලයන්ස් ඉන්ඩස්ට්‍රිස් සමාගම සහ ගූගල් සමාගම අතර මේවනවිටත් ක්‍රිකට්වලින් පිටත හොඳ ව්‍යාපාරික සම්බන්ධතාවක් පවතින අතර, 2020 වසරේදී ගූගල් සමාගම රිලයන්ස් ජියෝ සමාගමේ 7.7%ක කොටස් ප්‍රතිශතයක් ඉන්දියානු රුපියල් කෝටි 33,737ක මුදලකට මිලදී ගැනීමට පියවර ගෙන තිබුණි.

Visits: 98