රුපියල් 12,000ට අඩු චීන ස්මාට් දුරකතන ඉන්දියාව තුළ තහනම් කිරිමට යයි

ඉන්දියාව තුළ රුපියල් 12,000ට වඩා අඩු මුදලකට අලෙවි කරන චීන ස්මාට් ජංගම දුරකතන නිෂ්පාදකයන් සඳහා තහනමක් පැනවීමට එරට බලධාරීන් තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

මෙම අලෙවිය හරහා ඉන්දියානු ජංගම දුරකතන වෙළෙඳ පොළ වෙත මතුව තිබෙන ගැටලු නිරාකරණයකිරිම එහි අරමුණ බව පැවසෙයි. කෙසේ වෙතත් මෙය ඉන්දියාව සහ චීනය අතර පවතින භූදේශපාලනික මතභේදයේ තවත් අවස්ථාවක් ලෙසද ඇතැම් පිරිස් හඳුන්වා දෙති.

විශේෂයෙන්ම ඉන්දියාව තුළ සිය ස්මාට් දුරකතන වෙළෙඳ පොළ සාර්ථක ලෙස පවත්වාගෙන යන Xiaomi Corp. සමාගම ඇතුළු අනෙකුත් චීන නිෂ්පාදන ඉලක්ක කරගනිමින් මෙම තහනම පැනවීමට කටයුතු යොදා ඇතැයි ඔවුන්ගේ අදහස වී තිබේ.

එසේම දැනට ඉන්දියාව තුළ සිය නිෂ්පාදන අලෙවි කරන Apple Inc. සහ Samsung Electronic Co. යන සමාගම් වෙත මෙම තහනමින් බලපෑම් එල්ල වී නොමැති අතර, එම සමාගම්වල ස්මාට් දුරකතන රුපියල් 12,000ට වඩා ඉහළ වටිනාකම් ගැනීම ඊට හේතුවයි.

ඒ අනුව ලෝකයේ දෙවැනි විශාලතම ජංගම දුරකතන වෙළෙඳ පොළ ලෙස සැලකෙන ඉන්දියාව තුළ චීනයේ අඩු මිල ජංගම දුරකතන අලෙවියෙන් එම සමාගම් ඉවත් කිරීම මෙහි අරමුණ වී ඇත. අද වනවිට මෙම චීන සමාගම් හේතුවෙන් ඉන්දියාව තුළ ජංගම දුරකතන  නිෂ්පාදන සමාගම් වෙත දැඩි හානි සිදුව තිබෙන බව පැවසෙයි.

දත්ත වාර්තාවලට අනුව පසුගිය ජූනි මාසයෙන් අවසන් වූ කාර්තුව තුළදී පමණක් ඉන්දියාව තුළ සිදු වූ ස්මාට් දුරකතන අලෙවියෙන් තුනෙන් එකක් සඳහා මෙම රුපියල් 12,000ට අඩු ස්මාට් දුරකතන දායක වී තිබේ. එසේම එම ජංගම දුරකතන අතරින් 80%ක්ම නැව්ගත කර ඇත්තේ මෙම චීන සමාගම් මගිනි.

මේ අතර ඉන්දියානු රජය දැනටමත් එරට තුළ වෙළෙඳ පොළ මෙහෙයුම් සිදු කරන Xiaomi, Oppo සහ Vivo යන චීන ජංගම දුරකතන නිෂ්පාදන සමාගම් සම්බන්ධයෙන් දැඩි පියවර ගැනීමටත් කටයුතු යොදා ඇත. එහිදී එම සමාගම්වල මූල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් සමීපව නිරික්ෂණය කිරීමටත්, එම සමාගම් බදු වංචා කිරීම් සහ මුදල් විශුද්ධිකරණයන්ට සම්බන්ධ වන බවට අවධානයෙන් පසුවීමත් එහි එක් අවස්ථාවකි.

Visits: 124