ඇම්බියොන් කැපිටල් තමන් සතු වූ Lexinton Resort ඇම්බියොන් හෝල්ඩිංග්ස් වෙත අලෙවි කරයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ඇම්බියොන් කැපිටල් පීඑල්සී සමාගම (TAP.N0000) සිය පූර්ණ හිමිකාරීත්වය සහිත පරිපාලිත සමාගමක් වූ Lexinton Resort (පෞද්) සමාගමෙහි හිමිකාරීත්වය ඇම්බියොන් හෝල්ඩිංග්ස් පීල්සී සමාගමෙහි (GREG.N0000) පරිපාලිත සමාගමක් වන කලම්බු සිටි හෝල්ඩිංග්ස් පීඑල්සී (PHAR.N0000) වෙත අලෙවි කර ඇතැයි පවසයි.

ඊයේ දිනයේදී මෙම ගනුදෙනුව සිදුව ඇත. මෙය ඇම්බියොන් හෝල්ඩිංග්ස් පීඑල්සී සහ ඇම්බියොන් කැපිටල් පීඑල්සී යන සමාගම්හි සබැඳි පාර්ශ්ව අතර ගනුදෙනුවක් බවත් පැවසෙයි.

ඇම්බියොන් සමූහය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවස්ථාවේ කොටසක් ලෙස මෙම අලෙවි කිරීම සහ මිලදී ගැනීම සිදුව තිබේ. විශේෂයෙන්ම සමූහයේ දේපළ වෙළෙඳාම් අංශය එක් සමාගමක් යටතට පත් කිරීමේ අරමුණින් මෙම කටයුතු සිදුව ඇත.

මෙහිදී රුපියල් මිලියන 575ක මුදලකට ඇම්බියොන් කැපිටල් පීඑල්සී සමාගම සිය Lexinton Resort (පෞද්) සමාගමේ හිමිකාරීත්වය කලම්බු සිටි හෝල්ඩිංග්ස් පීඑල්සී වෙත අලෙවි කර ඇතැයි සඳහන් වෙයි.

මෙම ගනුදෙනුව සිදුවන අවස්ථාව වනවිටත් කලම්බු සිටි හෝල්ඩිංග්ස් පීඑල්සීහි කොටස් හිමිකාරීත්වයෙන් 63.21%ක ප්‍රතිශතයක් ඇම්බියොන් කැපිටල් පීඑල්සී වෙත හිමිව තිබී ඇත.

මේ අතර අදාළ සබැඳි පාර්ශ්ව අතර ගනුදෙනුව සාමාන්‍ය වාණිජ නියමයන් අනුව සිදු වූ බවත්, ඒ හරහා සමාගමේ කොටස් වෙත හෝ එහි සුළුතර කොටස්හිමිකරුවන් වෙත හෝ කිසිදු බලපෑමක් එල්ල නොවූ බවත්, ඇම්බියොන් කැපිටල් පීඑල්සී හි සබැඳි පාර්ශ්ව අතර ගනුදෙනු විමර්ශන කමිටුව සඳහන් කරයි.

එසේම මෙහිදී Lexinton Resort (පෞද්) සමාගමේ වටිනාකම තක්සේරු කිරීම ස්වාධීන වෘත්තීයමය තක්සේරුකරුවෙකු හරහා සිදු කළ බවත් සමාගම පවසයි.

Visits: 205