පොදු ප්‍රවාහනයට අවශ්‍ය ඉන්ධන වෙනුවෙන් වෙනමම QR කේතයක් සඳහා අවධානය

පොදු ප්‍රවාහන සේවයට සම්බන්ධ ලංගම සහ පෞද්ගලික බස් රථ සඳහා අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය වෙන්වෙන් වශයෙන් හඳුනාගෙන එය වෙනුවෙන් වෙනමම QR කේතයක් හඳුන්වාදීමේ සාකච්ඡාවක් අද පෙරවරුවේදී ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී පැවැත් වී තිබේ.

ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහා මාර්ග ඇමති බන්දුල ගුණවර්ධන මහතා සහ විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්, අදාළ අමාත්‍යාංශවල ඉහළ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් මෙම හමුව සංවිධානය වී තිබේ.

ඒ අනුව ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්, ලංකා ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති, ශ්‍රී ලංගම සභාපති ඇතුළු නිලධාරීන් පිරිසක් ඊට එක්ව සිට ඇත.

මෙම ක්‍රමවේදය හරහා ලංගම ඩිපෝ සහ දිවයින පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල් වෙතින් ඉන්ධන ලබාදීමේ වැඩපිළිවෙළක් එළඹෙන සතිය වනවිට ක්‍රියාත්මක කිරීම බලාපොරොත්තුව වෙයි.

ගමනාගමන කොමිසන් සභාව සහ පළාත් සභා ඒකාබද්ධව එම රථ නියාමනය කර අවශ්‍ය තොරතුරු ලබා දීමටත් එම තොරතුරු ද සැලකිල්ලට ගෙන අවශ්‍ය තීරණ වලට ලබන සතිය වන විට එළඹීමටත් මෙහිදී යෝජනා වී තිබේ.

එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන තුරු පොදු ප්‍රවාහන සේවය සඳහා අවශ්‍ය ඉන්ධන අවශ්‍යතාවය ලංගම ඩිපෝ මගින් හා මාකුඹුර සහ බැස්ටියන් මාවතේ ඉන්ධන පිරවුම්හල් මගින් සිදු කිරීමට මෙහිදී තීරණය වී ඇත.

Visits: 35