“අර්බුදවලින් රට ගොඩ ගැනීමට ස.ජ.බ. රජයට සහය දෙනවා” – මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න

රජය නිවැරැදි ප්‍රතිපත්තියක් අනුගමනය කරන විට විපක්ෂය රජයට සහය දෙන බවත්, ආර්ථික හා මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් රජයට ස.ජ.බ යේ සහාය නිසැකවම ලබා දෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කරයි. විපක්ෂ නායක කාර්යාලයේදී පසුගියදා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

විශේෂයෙන්ම තිරසාර භාවය සඳහා අතිශයින් වැදගත් වන ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා රජය දැනටමත් ජාත්‍යන්තර උපදේශකයන් පත් කර තිබීම හිතකර තත්ත්වයක් යැයිද හෙතෙම එහිදී සඳහන් කර තිබේ.

මෙම හමුවේදී වැඩිදුරටත් අදහස්‌ දක්වා ඇති ඉරාන් වික්‍රමරත්න මහතා, “රට විදේශ ආධාර අපේක්ෂා කිරීමට පෙර ණය තිරසාර බව ප්‍රථමයෙන් සාක්ෂාත් කර ගැනීම සඳහා සංවේදීව ඉදිරියට ගෙන යා යුතුයි. මෙවැනි තත්ත්වයන් සම්බන්ධයෙන් අප කටයුතු කරන විට සම්මත ක්‍රමයන් ක්‍රියාත්මක නොවන බව ඉතා පැහැදිලියි. පවතින ප්‍රශ්නයක් විසඳීමේ වියදමේදී තවත් ප්‍රශ්නයක් ඇති කළ නොහැක. එවැනි අර්බුදයක් නොමැති විට රටේ බැංකු අර්බුදයක් ගැන සංඥාවක්වත් දීමට අපට හැකියාවක් නැත. මූලික වශයෙන් බැංකු අර්බුදයක් ඇති කරන විසඳුම් සඳහා අපට යා නොහැක.” වික්‍රමරත්න මහතා පැවසීය

මේ අතර, ජනාධිපතිවරයා පසුගිය දිනක ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ප්‍රකාශයක් කළ බවත් එහි සන්දර්භය අප තේරුම් ගත යුතු බවත් මන්ත්‍රීවරයා මෙහිදී සිහිපත් කර තිබේ.

“ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු කරන ජාත්‍යන්තර පාර්ශ්ව කතා කළේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ විදේශිකයන් සතු ණය ගැනයි. ණය ප්‍රතිව්‍යූහගත කිරීමේදී දේශීය ණය කප්පාදු කිරීමකට අවස්ථාවක් දිය නොහැකියි. ඒ වෙනුවට සිතා බැලිය හැකි වෙනත් විසඳුම් තිබෙනවා.”

“පසුගිය කාලයේ ණය ගත් ශ්‍රී ලංකා රජයන් හොඳ මූල්‍ය තීරණ ගත්තේ නැහැ. ප්‍රතිලාභ දෙන ආයෝජනවලට ණය යොදවනවා වෙනුවට ඒවා යොදවා තියෙන්නේ රටට ප්‍රතිලාභ නොදෙන ආයෝජනවලයි. මානව සම්පත් සඳහා ආයෝජනය කිරීම වෙනුවට බොහෝ ණය ආයෝජනය කර ඇත්තේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා සහ බොහෝ දුරට වෙළඳාම් කළ නොහැකි අංශවලටයි. ණය ප්‍රයෝජනයට ගැනීමේදී අපි වැරදි කරලා තියෙනවා. ලබාදුන් ණය නිසිලෙස ආයෝජනය කර රටට ආර්ථික සහ මුල්‍ය ප්‍රතිලාභ ලබා දෙන බවට වග බලා ගැනීමේ වගකීම ණය දුන් අයටද පැවරෙනවා.” යනුවෙන්ද මන්ත්‍රීවරයා මෙහිදී අවධාරණය කර තිබේ.

Visits: 37