Advocata සංවිධානය කරන Let’s reset Sri Lanka සම්මන්ත්‍රණය හෙට (05) සහ අනිද්දා (06)

මෙරට මුල් පෙළේ පර්යේෂණ බුද්ධි මණ්ඩලයක් වන Advocata ආයතනය මගින් සංවිධානය කරනු ලබන Let’s reset Sri Lanka සම්මන්ත්‍රණය හෙට සහ අනිද්දා දෙදින තුළ කොළඹ බණ්ඩාරනායක සම්ම්න්ත්‍රණශාලාවේ ලෝටස් ශාලාවේදී පැවැත්වීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකාව වර්තමානයේදී මුහුණ දී ඇති ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා සිදු කළ හැකි ප්‍රතිසංස්කරණ පිළිබඳව මෙම සම්මන්ත්‍රණයේදී කරුණු හුවමාරු කරගැනීමට Advocata අදහස් කරගෙන සිටියි. ඒ සඳහා මෙරට විවිධ ක්ෂේත්‍රයන්ට අයත් වෘත්තිකයන් සහ බුද්ධිමතුන් ඇතුළු පිරිසක් සම්පත්දායකත්වය ලබාදෙයි.

මෙහිදී ලොව වෙනත් රාජ්‍යයන්හි සිය ආර්ථික සංවර්ධනය ඇතුළු කාරණා සම්බන්ධයෙන් සිදුකළ ප්‍රතිසංස්කරණ පිළිබඳ ආදර්ශයන්ද සමගින් මෙම සම්මන්ත්‍රණය පැවැත්වෙන බව සංවිධායකයන් පවසයි.

විශේෂයෙන්ම සමාජ සුරක්ෂිතභාවය, තිරසාර සංවර්ධනයක් සඳහා වන බදු ප්‍රතිපත්ති ඇතුළු කාරණා මෙහිදී සාකච්ඡාවට බඳුන් වෙයි. එසේම ණය අර්බුදය, වෙළෙඳ ප්‍රතිපත්ති, කම්කරු වෙළෙඳ පොළ, ඉඩම් සංවර්ධනය මෙන්ම පෞද්ගලික කර්මාන්ත කලාප යන සංකල්පය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා පැවැත්වෙයි.     

මේ අතර රජයට අයත් ව්‍යවසායන්හි කාර්යසාධනය සම්බන්ධයෙන් Advocata ආයතනය මගින් සකස් කළ අලුත්ම වාර්තාවද එළිදැක්වීමටත් නියමිතව තිබේ.

මෙම දෙදින සම්මන්ත්‍රණයේ වැදගත් සාකච්ඡා සහ අවස්ථා කිහිපයක් ‘ඉකොනොමි ඇන්ඩ් බිස්නස් ශ්‍රී ලංකා’ ෆේස්බුක් පිටුව හරහාද සජීවීව විකාශය කිරීමට කටයුතු යොදා තිබේ.

Visits: 53