නෝර්වේ රාජ්‍ය ශ්‍රී ලංකාවේ කාන්තාවන් සහ දරුවන් වෙනුවෙන් ක්‍රොන් මිලියන 13 ක් පරිත්‍යාග කරයි

නෝරිවේජියානු රජය ශ්‍රී ලංකාවේ අධික අවදානම්කාරී තත්ත්වයට පත්ව සිටින කාන්තාවන්ගේ සහ කුඩා දරුවන්ගේ ආහාර, පෝෂණ හා සුරක්‍ෂිතතා අවශ්‍යතා ඉටු කිරීමට දායක වීමේ අරමුණින් නෝර්වේජියානු ක්‍රොන් මිලියන 13 ක මුදලක් (ආසන්න වශයෙන් රු. මිලියන 490 ක්) ලෝක ආහාර අරමුදල, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) සහ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) වෙත පරිත්‍යාග කිරීමට තීරණය කර ඇත.

නෝර්වේජියානු විදේශ අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද ප්‍රකාශනයකදී නෝර්වේජියානු විදේශ කටයුතු අමාත්‍ය අනිකන් හූට්ෆෙල්ඩ් මහත්මිය සඳහන් කළේ ‘ශ්‍රී ලංකාව තුළ දැනට උද්ගතව ඇති ආහාර හා පෝෂණ අර්බුදය සම්බන්ධයෙන් තම අවධානය යොමුව ඇති බවත්, මෙම මානුෂීය වශයෙන් අර්බුදකාරී තත්ත්වය කාන්තාවන් සහ කුඩා දරුවන් කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කර ඇති බවත්’ ය.

‘නෝර්වේ රජය විසින් සිදු කරන ලද මෙම ක්‍රොන් මිලියන 13 ක මූල්‍යාධාර වෙන් කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආහාර, පෝෂණය හා සුරක්‍ෂිතතාව සඳහා පවතින දැඩි ඉල්ලුම ආමන්ත්‍රණය කිරීමට පිටුබලයක් ලැබෙනු ඇත. මෙම ආධාරය එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා සිදු කෙරෙන්නක් වන අතර එය ආහාර සුරක්‍ෂිතතාව හා කාන්තා හා ළමා ආරක්‍ෂාව අරමුණු කරගත් ප්‍රයත්න ඉලක්ක කර ගත්තක්’ බවද එතුමිය වැඩිදුරටත් සඳහන් කළාය.

දැනට පවතින අර්බුදකාරී වාතාවරණයට පෙර සිටම ශ්‍රී ලංකාවේ මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් සැලකිය යුතු ප්‍රතිශතයක් සිටි බව අවධාරණය කළ ශ්‍රී ලංකාවේ නෝර්වේජියානු තානාපතිනි ටී්‍රනි යුරන්ලි එස්කෙඩල් මහත්මිය තවදුරටත් පළ කර සිටියේ මෙවැනි අදහසකි: “පවතින ආර්ථික අර්බුදය නිසා ගර්භණී මාතාවන්ගේ, දරුවන්ට මව්කිරි ලබා දෙන කාන්තාවන්ගේ සහ කුඩා දරුවන්ගේ පෝෂණ අවශ්‍යතා වෙත බරපතල බලපෑමක් එල්ල වී තිබේ. මෙම අභියෝගාත්මක පසුබිම තුළ, කාන්තාවන් හා ළමුන් විවිධ අපයෝජනයන්ට මෙන්ම ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පාදක කර ගත් හිංසනයට ගොදුරු වීමේ අවදානමද ඉහළ ගොස් ඇත’.

රටෙහි කෘෂි අස්වනු බිඳ වැටීම සහ පවතින ආර්ථික හා දේශපාලනික අර්බුද හේතුවෙන් මෙම තත්ත්වය තවදුරටත් උත්සන්න වීමටත් පූර්ණ මානුෂීය අර්බුදයක් දක්වා එය පරිවර්තනය වීමටත් අවදානමක් ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු හඟවයි. කඩිනම් ක්‍රියාමාර්ග නිසි ලෙස නොගතහොත් ඉදිරි මාසවලදී මෙම තත්ත්වය තවදුරටත් උත්සන්න වීමේ ප්‍රවණතාවක්ද තිබේ. මෙවැනි පසුබිමක් තුළ මානුෂීය ප්‍රතිචාර සැලැස්මක් සකස් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය පියවර ගෙන තිබේ.

අවදානමට ලක් වූ කණ්ඩායම් ඉලක්ක කර ගනිමින් නෝර්වේ රාජ්‍යය ක්‍රොන් මිලියන 5 ක මුදලක් ලෝක ආහාර වැඩසටහන වෙත ලබා දෙනු ඇත. මීට අමතරව, කාන්තාවන් හා කුඩා ළමුන් ආරක්‍ෂා කිරීමේ ප්‍රයත්න වෙත සහාය වීමේ අරමුණින් පිළිවෙළින් ක්‍රොන් මිලියන් 5 ක් සහ ක්‍රොන් මිලියන 3 ක් UNICEF සහ UNFPA සංවිධාන වෙත පරිත්‍යාග කෙරෙනු ඇත.

නෝර්වේ රාජ්‍යය සෑම විටම ළමුන් ආරක්‍ෂා කිරීම සහ ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පාදක හිංසනයට එරෙහිව කටයුතු කිරීම වෙත ප්‍රමුඛතාව ලබා දෙයි. ශ්‍රී ලංකාවේ දැනට පවතින තත්ත්වය තවදුරටත් උත්සන්න වීම වැළැක්වීම සඳහා මෙවැනි ප්‍රයත්නවල දැඩි අවශ්‍යතාවක් වත්මනෙහි පවතින බවත් නෝර්වේජියානු විදේශ අමාත්‍යාංශය පවසයි.

Visits: 90