කැළණි කේබල්ස් කොටසකට රු. 6.50 බැගින් රු.මිලියන 141ක් වටිනා ලාභාංශ ගෙවීමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත කැලණි කේබල්ස් පීඑල්සී සමාගම (KCAB.N0000) සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. අද දිනයේදී රැස්වුණු එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය හමුවේදී මේ පිළිබඳ යෝජනාව ඉදිරිපත්ව තිබේ.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 6.50ක් බැගින් ලාභාංශ ගෙවීමක් සිදු කරන බව සමාගම පවසයි.

මෙය 2022 මාර්තු 31 වැනිදායින් අවසන් වන මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන පළමු අතර මැදි ලාභාංශ ගෙවීම ලෙස සඳහන්ව තිබේ.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස සැප්තැම්බර් 05 වැනිදා ප්‍රකාශ කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස අගෝස්තු 16 වැනිදා නම් කෙරී තිබේ.

මේ අතර අදාළ ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොමැති බවත් කැළනි කේබල්ස් පීඑල්සි සමාගම වැඩිදුරටත් සඳහන් කර සිටියි.

ඒ අනුව මෙම ලාභාංශ ගෙවීම යටතේ කොටස් හිමිකරුවන් සඳහා ලබා දෙන මුදල රුපියල් 141,700,000.00ක් බවත් සමාගම පවසා සිටියි.

අද දිනයේ කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අවසානයේදී කැළණි කේබල්ස් පීඑල්සී කොටසක වටිනාකම රුපියල් 233.50ක් ලෙස සටහන්ව තිබූ අතර, එය පෙර දිනයේදී කොටසක වටිනාකම වූ රුපියල් 232.50ට සාපේක්ෂව රුපියලක ඉහළ යාමකි.

Visits: 97