Hytera ශ්‍රී ලංකා පොලීසියට අතිනවීන ඩිජිටල් සන්නිවේදන උපකරණ සපයයි

Hytera සහ එහි ශ්‍රී ලාංකික හවුල්කරු වන Securatec සමාගම, ශ්‍රී ලංකා පොලීසියට වසර 10 ක කාලයක් දක්වා ක්ෂේත්‍ර සන්නිවේදන පද්ධති සැපයීම සඳහා පසුගියදා ගිවිසුම්ගත විය. විශාල තරගකාරීත්වයක් පැවති ටෙන්ඩර් ක්‍රියා පටිපාටියකින් අනතුරුව මෙම ටෙන්ඩරය හිමිකරගැනීමට Hytera ආයතනය සමත් විය.

මීට ඉහතදී Securatec සමාගම ශ්‍රී ලංකා පොලීසියට අති-නවීන හා ඉතාමත් කාර්යක්ෂම MD788 ජංගම රේඩියෝ 150 ක් සපයා ඇති අතර, ඒවා භාවිතා කිරීම සම්බන්ධයෙන් පුහුණුවද ලබා දී තිබේ. කාර්යාල වලදී මෙන්ම එළිමහනේදීද ඉතාමත් පහසුවෙන් භාවිතා කළ හැකි ආකාරයට සහ දිගුකල් පවතින ආකාරයට මෙම උපකරණ නිෂ්පාදනය කර ඇත.

“ශ්‍රී ලංකා පොලීසියේ සන්නිවේදන ජාලය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා මෙම හවුල්කාරීත්වයට එළඹීමට හැකි වීම අපට මහත් සතුටක්. තවත් සමාගම් කිහිපයක් සමග පැවති උණුසුම් තරගයකින් අනතුරුව මේ අවස්ථාව උදාකර ගැනීමට හැකිවීම පිළිබඳව අප බෙහෙවින් සතුටු වනවා. ආරක්ෂක අංශ ඇතුළුව සේවාදායකයන් රැසකින් සමන්විත අපගේ සේවාදායක ජාලයට මෙලෙස ශ්‍රී ලංකා පොලීසියද එක්වීම අපට ගෞරවයක්. මේ හවුල්කාරීත්වය අඛණ්ඩව පවත්වාගෙන යාම අපගේ බලාපොරොත්තුවයි.” Hytera Sri Lanka සාමාන්‍යාධිකාරී කෙවින් සුන් මහතා පැවසී ය.

මෙම නව Hytera ඩිජිටල් රේඩියෝ උපකරණ, ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ රථවාහන සඳහා භාවිතා කිරීමට සැලසුම් කර තිබේ. එමගින් එම නිලධාරීන්ට පොලීසියේ අනෙකුත් අංශ සමග වඩාත් කාර්යක්ෂම ලෙස සම්බන්ධතා පවත්වා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

සාම්ප්‍රදායික ඇනලොග් රේඩියෝ උපකරණ මෙන් නොව මෙම නව උපකරණ ඇනලොග් සහ ඩිජිටල් දෙ-ආකාරයටම ක්‍රියාකරන නිසා, ශ්‍රී ලංකා පොලීසිය මුළුමනින්ම ඩිජිටල්කරණය කිරීමේ උත්සාහය තුළ එම උපකරණ වැදගත් කාර්යභාරයක් ඉටුකරනු නිසැක ය. ඉදිරියේදී දිවයින පුරාම පොලිස් ස්ථාන සහ ඒකක වෙත ඩිජිටල් සන්නිවේදන පහසුකම් ලබාදීම සඳහා Hytera සහ එහි ශ්‍රී ලාංකික හවුල්කරු වන Securatec සූදානමින් සිටී.

Hytera යනු ක්ෂේත්‍ර රාශියක් සඳහා ඩිජිටල් රේඩියෝ සන්නිවේදන විසඳුම් ලබාදීම සම්බන්ධයෙන් සුවිශාල පළපුරුද්දක් ලබා ඇති සමාගමකි. තුර්කියේදී එම සමාගම කුලී රථ අතර සන්නිවේදන කටයුතු සඳහා PoC3000 පදනම හඳුන්වා දුන් අතර, කුලී රථ භාවිතා කිරීමේ සාම්ප්‍රදායික ක්‍රමවේදය පරිවර්තනයට ලක්කිරීම සඳහා PNC370 රේඩියෝ උපකරණ හඳුන්වා දුන්නේ ය.

කසකස්ථානයේදී එම සමාගම JSC AK Altynalmas සමාගම හා එක්වී, PNC380 උපකරණ සහ Hytalk පදනම සමගින් එරට රන් පතල් කර්මාන්තයේ සන්නිවේදන කටයුතු වැඩිදියුණු කිරීමට දායක විය. එමෙන්ම ඩුබායි හි Atlantis the Palm සුඛෝපභෝගී හෝටලයේ භාවිතය සඳහා Push-To-Talk over 3G/4G/Wi-Fi පද්ධතියක් ස්ථාපිත කරන ලද අතර, මීට අමතරව අබුඩාබි පොලීසිය, Eurotunnel, Qatar Airways, හොංකොං ජාත්‍යන්තර ගුවන් තොටුපළ සහ Changsha Metro යනාදිය වෙත Hytera විසින් අතිනවීන සන්නිවේදන උපාංග හා යටිතල පහසුකම් සපයා තිබේ.

Visits: 69