ACL Plastics රුපියල් 15ක ලාභාංශ නිවේදනයත් සමග කොටසක වටිනාකම 17%කින් ඉහළට

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ACL Plastics සමාගම (APLA.N0000) සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 15ක් බැගින් ලාභාංශ ගෙවීම සිදු කරන බව සමාගම සඳහන් කරයි.

මෙය 2022 මාර්තු 31 වැනිදායින් අවසන් වූ මූල්‍ය වර්ෂය වෙනුවෙන් ලබා දෙන පළමු අතරමැදි ලාභාංශ ගෙවීමද වෙයි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස අගෝස්තු 31 වැනිදා ප්‍රකාශ කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස අගෝස්තු 10 වැනිදා නම් කෙරී තිබේ.

මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්දයෙන් කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොමැති බවත් සමාගම වැඩිදුරටත් පවසයි.

එසේම මෙම ලාභාංශ ගෙවිම හරහා සිය කොටස් හිමිකරුවන් අතර බෙදී යන මුදලේ සමස්ත වටිනාකම රුපියල් 63‍,187,500.00ක් වන බවත් ACL Plastics PLC සමාගම පවසයි.

මේ අතර ලාභාංශ ගෙවීමේ තීරණයත් සමගිම අද දිනයේ කොළඹ කොටස් හුවමාරුවෙහි මුල් ගනුදෙනු විනාඩි 15 තුළදී ACL Plastics PLC කොටසක වටිනාකම රුපියල් 355.00ක් බවට පත්ව තිබූ අතර, එය ඊයේ දිනයේ කොටසක වටිනාකම වූ රුපියල් 301.50ට සාපේක්ෂව රුපියල් 53.50ක එනම් 17.74%ක ඉහළ යාමකි.

Visits: 127