කොමර්ෂල් බැංකුවට අයත් ඉතාලියේ පිහිටි Commex Sri Lanka ඈවර කිරිමට යයි

මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකුවක් වන කොමර්ෂල් බැංකුව සිය විදේශීය මෙහෙයුම් යටතේ ඉතාලිය තුළ පවත්වාගෙන ගිය Commex Sri Lanka s.r.l සමාගම ඈවර කිරිමට තීරණය කර ඇතැයි පවසයි.

මෙම සමාගම කොමර්ෂල් බැංකුවෙහි පූර්ණ හිමිකාරීත්වය සහිත පරිපාලිත සමාගමක් ලෙස ක්‍රියාත්මක විය.

අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් මේ පිළිබඳව දැනුම් දීමට බැංකුව කටයුතු කර තිබේ.

පසුගිය ජූලි 29 වැනිදා පැවැති කොමර්ෂල් බැංකු අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳ තීරණය ගෙන ඇතැයි එම ලිපියේ සඳහන් වෙයි.

මෙහිදී Commex Sri Lanka සමාගමෙහි සභාපතිවරයා විසින් අධ්‍යක්ෂ මණ්ඩලය වෙත සිදු කළ දැනුම්දීමට අනුව මෙම තීරණය ගෙන තිබේ.

විශේෂයෙන්ම COVID-19 වසංගතය තත්ත්වය නිසා ඇති වූ ආර්ථික බලපෑම මෙම තීරණයට හේතුව වී ඇතැයි එහි සඳහන් වෙයි. ඒ අනුව Commex Sri Lanka s.r.l . සමාගම ස්වේච්ඡාවෙන් ඈවර කිරීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇතැයි කොමර්ෂල් බැංකුව සඳහන් කර සිටියි.

ශ්‍රී ලංකාවෙන් ඉතාලිය වෙත ගොස් සිටින පිරිසට අවශ්‍ය මුදල් හුවමාරු ගනුදෙනු පහසුකම් සැලසීමේ අරමුණින් මෙම Commex Sri Lanka s.r.l . සමාගම 2016 වසරේදී එරට රෝමයේදී ස්ථාපිත කෙරිණි.  එහිදී ඉතාලියේ මහ බැංකුවේ ආවේක්ෂණය යටතේ එම සමාගම ලියාපදිංචි කිරීම සිදුවිය.

එසේම ඉතාලිය තුළ මුදල් හුවමාරු කිරීමේ මෙහෙයුම් සඳහා ස්ථාපිත කළ පළමු ශ්‍රී ලාංකික බැංකුව බවටද එම අවස්ථාවේදී කොමර්ෂල් බැංකුව පත් විය.

Visits: 168