Alibaba සමාගම ඇමෙරිකාව තුළ ලැයිස්තුගත කිරීමෙන් ඉවත් කෙරෙන සමාගම් ලේඛනයට

චීනයේ Alibaba සමාගම ඇමෙරිකාව තුළ ලැයිස්තුගත කිරීමෙන් ඉවත් කෙරෙන සමාගම් ලේඛනයට (delisting watch list) ඇතුළත් කිරිමට එක්සත් ජනපද සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව ඊයේ තීරණය කර ඇතැයි පවසයි.

ඒ අනුව මෙම ලේඛනයට ඇතුළත්වුණු චීන සමාගම් අතරින් අලුත්ම සමාගම බවටත් Alibaba පත්ව තිබේ. Alibaba සමාගමේ නිර්මාතෘවරයා සහ හිමිකරුවා වන්නේ චීනයේ අංක එකේ ව්‍යාපාරික ජැක් මාය.

මෙම නිවේදනයත් සමගින්ම ඊයේ (29දා) දිනයේදී නිව්යොර්ක් කොටස් හුවමාරු‍වෙහි ගනුදෙනු අවසානයේදී Alibaba සමාගමේ කොටසක වටිනාකම එක්සත් ජනපද ඩොලර් 89.37ක් දක්වා 11%කින් පසු බැසීමක්ද සිදුව තිබේ.

ජැක්මා විසින් සිය හිමිකාරිත්වය යටතේ පැවැති Ant Group සමාගමේ හිමිකම් අත්හැරීමට සූදානම් වන බවට පළ වූ වාර්තාද Alibaba හි කොටස් වටිනාකම මෙලෙස පහත වැටීමට හේතු විය. Ant Group සමාගම Alibaba හා අනුබද්ධිත සමාගමකි.

වාර්තා සඳහන් කරන ආකාරයට අද වනවිට මෙලෙස නිව්යෝර්ක් කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත කිරීමෙන් ඉවත් කිරීම සඳහා ලේඛනගතව තිබෙන චීන සමාගම් සංඛ්‍යාව 270කට අධික බව පැවසෙයි. විදේශීය හිමිකාරීත්වය සහිත සමාගම්හි වගවීම පිළිබඳ පනත යටතේ මෙලෙස එම සමාගම් ලැයිස්ගුතවීමෙන් ඉවත් කිරීමේ අවදානමකට මුහුණ දී සිටියි.

මෙම පනත යටතේ චීනය මූලස්ථානය කරගත්, නිව්යෝක් කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සමාගම්හි අභ්‍යන්තර විගණන ලියකියවිලි පරීක්ෂා කිරීමේ පූර්ණ අවසරය හිමිවිය යුතු බව එක්සත් ජනපදය සඳහන් කර තිබේ.

මෙය මූලිකවම එක්සත් ජනපදය සහ චීනය අතර පවතින භූදේශපාලනික අර්බුදයේ තවත් අවස්ථාවක් ලෙසද විචාරකයෝ හඳුන්වා දෙති. මෙහිදී එක්සත් ජනපදය තුළ KFC ජාලය පවත්වාගෙන යන Yum China Holdings, ජෛවතාක්ෂණික සමාගමක් වන BeiGene Ltd, Weibo Corp. සහ JD.com යන සමාගම් මෙලෙස නිව්යෝර්ක් කොටස් හුවමාරුවෙන් ලැයිස්තුගතවීම ඉවත් කිරීමේ අවදානමට ලක්ව තිබෙන ප්‍රධානතම චීන සමාගම් අතරින් කිහිපයකි.

Alibaba සමාගම 2014 වසරේදී සිදුකළ මූලික මහජන කොටස් නිකුතුවක් හරහා නිව්යෝර්ක් කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගතවීම සිදුවිය. එය එම අවස්ථාවේදී සිදුවුණු දැවැන්තම මූලික මහජන කොටස් නිකුතුව විය. මේ හරහා චීනයේ අනෙක් සමාගම් වෙතද එක්සත් ජනපද කොටස් හුවමාරුව තුළ සිය සමාගම් ලැයිස්ගුත කරමින් ප්‍රාග්ධන රැස් කිරිමට අවස්ථාවහිමිවිය.

මෙලෙස Alibaba සමාගම සමගින් නිව්යෝර්ක් කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත කිරීමෙන් ඉවත් කිරීමේ ලේඛනයට ඇතුළත් කෙරුණු අනෙකුත් චීන සමාගම් වන්නේ Mogu Inc., Boqii Holding Ltd, Cheetah Mobile Inc. සහ Highway Holdings Ltd. යන සමාගම්ය.

Visits: 142