ජූලි මාසයේදී කොළඹ උද්ධමනය 60.8%ක් දක්වා ඉහළට – ආහාර උද්ධමනය 90.9%යි

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය ජූලි මාසයේදී 60.8%ක් ලෙස සටහන්ව ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ අලුත්ම දත්ත අනුව මේ බව සඳහන් කෙරී තිබේ.

ඒ අනුව මෙය ජූනි මාසයේදී පැවැති කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි ලක්ෂ්‍යමය උද්ධමනය වූ 54.6%ට සාපේක්ෂව කැපී පෙනෙන ඉහළ යාමක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මූලිකවම උද්ධමනය ඉහළ යෑම සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි මාසික ඉහළ යෑම හේතු වී තිබේ.

ඒ අනුව ආහර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය ජූනි මාසයේදි පැවැති 80.1%හි සිට ජූලි මිසයේදී 90.9%ක් දක්වා ඉහළ නැග තිබේ. එහිදී කිරිපිටි, සහල් සහ නැවුම් මත්ස්‍ය මිල ගණන් ඉහළ යාම සිදුව තිබේ. එහෙත් එළවලු, පොල් සහ පොල් තෙල් මිල ගණන් පහළ යාමක් එම මාසය තුළදී වාර්තා විය.

එසේම ආහාර නොවන කාණ්ඩයෙහි ලක්ෂ්‍යමය උද්ධමනය 2022 ජූනි මාසයේ පැවැති 42.4% සිට ජූලි මාසයේදී 46.5%ක් දක්වාඉහළ නැග තිබේ.එහිදී ප්‍රවාහන (පෙට්‍රල්,ඩීසල්, ගුවන් ගමන් ගාස්තු සහ බස් ගාස්තු), ආපනශාලා සහ හෝටල්සහ නිවාස, ජාලය, විදුලිය, ගෑස් සහ වෙනත් ඉන්ධන (එල්පී ගෑස්, දර සහ නඩත්තු/පිළිසකර කිරීම්) යන උප කාණ්ඩයන්හි අයිතමවල මිල ගණන් ඉහළ ගොස් තිබේ.

Visits: 66