ආර්ථික අර්බුදය හේතුවෙන් කලම්බු ඩොක්යාර්ඩ් සිය කොන්ත්‍රාත් දෙකක් අවලංගු කරයි

මෙරට ප්‍රමුඛ පෙළේ නෞකා ඉදිකිරීමේ සමාගමක් වන කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත කලම්බු ඩොක්යාර්ඩ් පීඑල්සී සමාගම නෝර්වේහි Edda Wind සමාගමත් සමගින් ඇති කරගෙන තිබූ නෞකා ඉදිකිරීමේ කොන්ත්‍රාත්තු දෙකක් අන්‍යෝන්‍ය එකඟතාව මත අත්හිටුවීමට තීරණය කර ඇතැයි පවසයි.

මෙහිදී CSOV (Commissioning Support Operation Vessels) මාදිලියේ නෞකා දියත් කිරිමේ මෙහෙයුම් සඳහා ආධාරක යාත්‍රා දෙකක් ඉදිකිරිම සහ භාරදීමේ කොන්ත්‍රාත්තුව කලම්බු ඩොක්යාර්ඩ් සමාගම වෙත හිමිව තිබී ඇත.

ඒ අනුව 2022 ජූලි 28වැනිදා මෙම අවලංගු කිරීමට අදාළ එකඟතාවට අත්සන් තබා තිබේ. ඊයේ (29දා) දිනයේදී එම සමාගම කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් මේ පිළිබඳව දැනුම් දී තිබේ.

මෙවැනි තීරණයක් ගැනීම සඳහා මූලිකවම හේතු වූයේ රට තුළ පවතින අස්ථාවර ආර්ථික සහ අයහපත් මූල්‍ය තත්ත්වය බව කලම්බු ඩොක්යාර්ඩ් පීඑල්සී සමාගම පවසයි.

”රට සම්බන්ධව පවතින දුර්වල ණය ශ්‍රේණිගත කිරීමේ මට්ටම සහ රට තුළ විදේශ මුදල් ද්‍රවශීලතාවයේ පවතින කැපී පෙනෙන හිඟය යනාදිය හේතුවෙන් මෙම කොන්ත්‍රාත්තුව පිළිබඳව තවදුරටත් වගවිමක් ලබාදීමට හැකියාවක් නැහැ. ගැනුම්කරුවාගෙන්ද මේ සඳහා වන මුදල් ලැබීමට දිගු කාලයක් ගත වෙනවා. එවැනි තත්ත්වයක් උඩ මෙම වාපෘති දෙක පවත්වාගෙන යෑම සමාගම වෙත අවදානමක් මෙන්ම අස්ථාවරත්වයක්ද ඇති කරවන්නක් විය හැකිව තිබුණා.” යනුවෙන්  එම සමාගම මෙහිදී පෙන්වා දෙයි.

කෙසේ වෙතත් කලම්බු ඩොක්යාර්ඩ් පීඑල්සී සමාගම රජයේ ඉහළ මට්ටමේ බලධාරින්, දේශීය සහ ජාත්‍යන්තර බැංකු සහ මූල්‍ය ආයතන මෙන්ම මීට සම්බන්ධ තානාපති කාර්යාලද හමුවී මෙම තත්ත්වය මඟහැරවීම සඳහා වන සාර්ථක විසඳුමක් සම්බන්ධයෙන් උපරිම උත්සාහ ගත් බව බවද මෙහිදී සඳහන් කරයි. එහෙත් මෑත අනාගතයේදී ඒ සඳහා වන විසඳුමක් නොමැති බවට හඳුනාගැනීමට ඔවුන්ට හැකියාව ලැබී තිබේ.

“මෙම ව්‍යාපෘතිය ආරම්භක මට්ටමේ පැවතීමත්, එය ඉදිරියටත් පවත්වාගෙන යාම නිසා කලම්බු ඩොක්යාර්ඩ් සමාගම වෙත එල්ල වන දරුණු අවදානමත් ගැන සලකා බලා, සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මෙම නෝර්වේජියානු සමාගමත් සමගින් ඇතිකරගත් අන්‍යෝන්‍ය එකඟතාවට අනුව ව්‍යාපෘතිය අවලංගු කිරිමට තීරණය කළා. එය මේ අවස්ථාවේදී ගත හැකිව තිබූ හොඳම තීරණයයි.” යනුවෙන්ද සමාගම සඳහන් කරයි.

කෙසේ වෙතත් ඉහත සඳහන් කළ මෙම කොන්තාත්තු අවලංගු කිරීමට අදාළ වගන්ති සහ කොන්දේසි එම පාර්ශ්වයන් විසින් ඉදිරියටත් රහසක් ලෙස පවත්වාගෙන යන බවටත් කලම්බු ඩොක්යාර්ඩ් වැඩිදුරටත් පවසා සිටියි.

කෙසේ වෙතත් මෙම කොන්ත්‍රාත්තුව අවලංගු කිරීම සිදුවන අවස්ථාවේදීම, සමාගම මගින් දැනටමත් සිදු කරමින් පවතින යුරෝපියානු සහ ස්කැන්ඩිනේවියානු ගනුදෙනුකරුවන්ගේ නෞකා ඉදිකිරීමේ ව්‍යාපෘති හතක් සාර්ථක ක්‍රියාත්මකව පවතින බවද කලම්බු ඩොක්යාර්ඩ් පීඑල්සී පවසයි.

“අප සමාගම සතුව පවතින නෞකා අලුත්වැඩියා කිරීමේ ඉහළ ඉල්ලුමත් සමගින්ම සමාගමේ ව්‍යපාරික ස්ථාවරත්වය ආරක්ෂා කරගැනීමට හැකිව තිබෙනවා. එහෙත් මෙම අවලංගු කිරීම 2022 වසරේදී අපගේ මූල්‍යමය කාර්යසාධනය වෙත අහිතකර බලපෑමක් එල්ල කරාවි. කෙසේ නමුත් දැනට සමාගම මගින් ක්‍රියාත්මක කරන ව්‍යාපෘති සහ නෞකා අලුත්වැඩියාකිරීම් සියල්ල සාර්ථකව කළමනාකරණය කළහැකි බව සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විශ්වාසය තබා තිබෙනවා. ඒ වගේම පෙර අත්දැකීම්ද සමගින් නව ව්‍යාපෘති වෙත අවදානය යොමු කිරිමටත් සූදානම්.” යනුවෙන්ද කලම්බු ඩොක්යාර්ඩ් සමාගම මෙහිදී වැඩිදුරටත් සඳහන්කර තිබේ.  

Visits: 214