99x Great Place to Work ශ්‍රේණිගත කිරීමෙහිි ‘Legend’ තත්වය හිමිකර ගනී

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ තාක්ෂණික සමාගමක් වන 99x විසින් Great Place to Work ආයතනය වෙතින් අඛණ්ඩව දසවැනි වරටත් Great Place to Work (GPTW) Legend තත්වය මෑතකදී හිමිකර ගත්තේය.

ඉතාමත් අසීරු කාලවලදී සේවකයින් සඳහා විවෘත හා විවිධාංගීකරණය වූ සේවා ස්ථානයක් පවත්වාගෙන යාමට සහ එහි ශ‍්‍රම බලකාය වෙනුවෙන් පෙනී සිටීමට 99x හි ඇති නොසැලෙන කැපවීම මෙම ජයග‍්‍රහණය තූළින් ඉස්මතු වෙයි. මෙම වසරේදී සමාගම ශ‍්‍රී ලංකාවේ හොඳම සේවා ස්ථානයක් මෙන්ම හොඳ IT/ITES සේවා ස්ථානයක් ලෙස ද ශ්‍රේණිගත කර ඇත.

99x, 2013 වසරේ සිට අඛණ්ඩව ශ‍්‍රී ලංකාවේ හොඳම සේවා ස්ථානයක් ලෙස නම් වී ඇති අතර 2018 සිට 2021 දක්වා අඛණ්ඩව වසර හතරක් ආසියාවේ හොඳම සේවා ස්ථානයක් ලෙස ද ශ්‍රේණිගතව ඇත. 99x යනු ශ්‍රී ලංකාවේ එසේ ශ්‍රේණිගත වූ සමාගම් තුනෙන් එකකි. AIA සහ DIMO යන ආයතනයන්හි වසර ගණනාවක් පුරා ක‍්‍රියාත්මක වෙන විශිෂ්ට මානව සම්පත් භාවිතයන් වෙනුවෙන්, 99x මෙම සමාගම් දෙකට තමන්ගේ සුබ පැතුම් එක් කරයි.

 අභියෝගාත්මක ආර්ථික පසුබිමක් තුළදීත් 99x විවිධ ක‍්‍රියාමාර්ග ක‍්‍රියාවට නංවමින් සිය ජනතා අවධානය පවත්වා ගෙන ගොස් ඇත. 99x සිය සේවා ස්ථාන සංස්කෘතිය වැඩිදියුණු කිරීම කෙරෙහි නිරන්තරයෙන් ඇති නොසැලෙන අවධානය Legend තත්වය වෙත ලඟා වීම සඳහා ප‍්‍රධාන වශයෙන් හේතු විය.

මේ පිළිබඳව අදහස් දක්වමින් 99x ප‍්‍රධාන විධායක නිලධාරී සහ නිර්මාතෘ මනෝ සේකරම් මහතා පැවසුවේ ‘’Great Place to Work ආයතනයෙන් අපට ලැබී ඇති සහයෝගය සහ පිළිගැනීම අපට ගෞරවයක් මෙන්ම අප ඒ පිළිබඳව අතිශයින් කෘතඥ වෙනවා. ඒ වගේම වැඩ කිරීමට සුදුසු විශිෂ්ට ස්ථානයක් බවට පත්වීම ගැන අපි නිහතමානීව සතුටු වෙනවා. මෙය රැකියා ස්ථානය තුළ පවතින අපගේ සංස්කෘතික භාවිතයන් පිළිබඳ ඇගයීමක්. අපගේ ව්‍යාපාර ආකෘතියේ ඇති වෙනස්කම්වලට අනුගත වීම, වසංගත හා ආර්ථික අභියෝග මධ්‍යයේ වුවද නව සාමාන්‍යකරණයට මුහුණ දීම මෙන්ම අපගේ සේවා කණ්ඩායම් අපට තිබෙන ප‍්‍රධානතම වත්කම ලෙස සැලකීම ආදී කරුණු මෙම තත්වය ළඟා කර ගැනීම උදෙසා අපට ඉඩ සලසන ප‍්‍රධාන මූලධර්ම කිහිපයක් ලෙස පෙන්වා දිය හැකියි.” යනුවෙනි.

ශ‍්‍රී ලංකා රැකියා ස්ථානයේ සේවක සේවිකාවන් තම නායකයින් කෙරෙහි දක්වන විශ්වාසය, මිනිසුන්ට දක්වන ගෞරවය, සේවා ස්ථානයේ තීරණවල සාධාරණත්වය සහ කණ්ඩායම් මිත‍්‍රත්වය ඇතුළු සාධක මත 99x මෙසේ ශ්‍රේණිගත වී ඇති අතර Great Place to Work ශ‍්‍රී ලංකා විසින් සේවක සමීක්ෂණ ප‍්‍රතිචාර විශ්ලේෂණයක් මත පදනම්ව ඒ පිළිබඳව ඇගයීමට ලක් කර ඇත. සේවකයින්ට තම යහපැවැත්ම වර්ධනය කර ගැනීම උදෙසා ඔවුන්ට අවශ්‍ය පිටුබලය සහ නම්‍යශීලීභාවය ඇති, වෘත්තීයමය වශයෙන් සහ පුද්ගලිකව ඔවුන්ගේ උපරිමය ලබා දිය හැකි පරිසරයක් නිර්මාණය කිරීමට 99x හි කැපවීම මෙම ඇගයීම තුළින් අවධාරණය කරයි.

”අපගේ පාරිභෝගිකයින් අපට වඩා සැතපුම් 6000 ක් පමණ බොහෝ දුරින් සිටියද අප සහ ඔවුන් අතර පවතින විශ්වාසනීයත්වය මත ඔවුන්ගේ සම්පූර්ණ බුද්ධිමය දේපළ අපට භාර දී තිබෙනවා. අපගේ සේවකයින් දිරිමත් කිරීම සඳහා ධනාත්මක වැඩ සංස්කෘතියක් නිර්මාණය කරන අතරම විශ්වාසය ඇති කිරීම තුළින් විශිෂ්ට කාර්යයක් ගොඩනැගීමට හැකිවීම අපගේ මෙම සාර්ථකත්වයට හේතු වුණා. 99x ලොව පුරා සිටින අපගේ පාර්ශවකරුවන් සඳහා සෑම විටම විශ්වාසදායක සහ ආරක්ෂිත පරිසරයක් පවත්වාගෙන යනවා.” යනුවෙන් 99x හි ප‍්‍රධාන මහජන නිලධාරී දමිත ජයසිංහ මහතා පැවසුවේය.

Visits: 61