2024 පැරිස් ඔලිම්පික් උළෙලේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ඇඳුම් සහකරු ලෙස MAS පත් වෙයි

MAS හෝල්ඩින්ග්ස් හි අනුබද්ධිත සමාගමක් වන MAS බොඩිලයින් ආයතනය, 2022 වසරේ සිට 2024 පැරිස් ඔලිම්පික් උළෙල දක්වා ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයේ – SLAA නිල ඇඳුම් සහකරු ලෙස අත්වැල් බැඳගත් බව පවසයි.

2022 ජූලි 28 වන දින පැවති උත්සවයකදී, බොඩිලයින් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී දිනේෂ් ද සිල්වා මහතා විසින් MAS නිර්මාණය කරන ලද මෙම මලල ක‍්‍රීඩා ඇඳුම් කට්ට SLAA හි සභාපති මේජර් ජෙනරාල් පාලිත ප‍්‍රනාන්දු මහතා වෙත නිල වශයෙන් භාර දෙන ලදී.

ජාත්‍යන්තර ක‍්‍රීඩා ඇඟලූම් සන්නාම සඳහා උසස් තත්ත්වයේ ඇඟලූම් නිෂ්පාදන නිර්මාණය කරනු ලබන MAS යනු දකුණු ආසියාවේ විශාලතම ඇඟලූම් නිෂ්පාදකයා වේ. මෙම හවුල්කාරීත්වය හරහා ශ‍්‍රී ලාංකික මලල ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට 2024 පැරිස් ඔලිම්පික් උළෙල දක්වා ජාත්‍යන්තර ඉසව්වල පුහුණුවීම් කිරීමට සහ තරගවලදී දක්ෂතා දැක්වීමට සහාය වීම සඳහා MAS විසින් නවීනතම තාක්ෂණය භාවිත කරමින් නිර්මාණය කරන ලද මෙම ඇඳුම් කට්ටල ලබා දෙනු ඇත. මේ වසරේ ජුනි මසදී ඉන්දියාවේ සංචාරය කළ 20 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම MAS විසින් නිර්මාණය කරන ලද තරග සහ පුහුණු වීම් සඳහා වන ඇඳුම් කට්ටල හිමි වූ පළමු කණ්ඩායම විය.

මේ පිළිබඳව අදහස් දක්වමින් SLAA හි සභාපති මේජර් ජෙනරාල් පාලිත ප‍්‍රනාන්දු මහතා පැවසුවේ ‘’අපගේ තරුණ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් තුළින් අප දකින දක්ෂතා සැබවින්ම පුදුමාකාරයි. නමුත් ඔවුන් ඒ සඳහා පැමිණි ගමන් මග එතරම් පහසු එකක් නොවේ. අපගේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ඔවුන්ගේ පුහුණු වීම්වලින් පිටතදී බොහෝ අසීරුතාවන්ට මුහුණ දුන් අතර මෙහි පැමිණීමට ඔවුන් ඉතා වෙහෙස මහන්සි වී කටයුතු කළා.’’ යනුවෙනි.

”මෙරට ග‍්‍රාමීය ප‍්‍රදේශවලින් අඩු වරප‍්‍රසාද සහිත සහ දක්ෂ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ජාත්‍යන්තර තරග බිමට පැමිණෙන විට ඔවුන්ට මෙම සහයෝගය විශාල ශක්තියක් වෙනවා. MAS හෝල්ඩින්ග්ස් විසින් ගන්නා ලද මෙම දැවැන්ත පියවර ශ‍්‍රී ලංකාවේ සෑම මලල ක‍්‍රීඩා ලෝලියෙක් වෙනුවෙන්ම මා ඉතා අගය කොට සලකනවා. අපේ මාතෘභූමියට අභිමානයක් ගෙන ඒමට ජාත්‍යන්තර තලයට යන ශ‍්‍රී ලාංකීය ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට මෙමගින් මනා පන්නනරයක් ලැබෙනවා.’’ යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

‘‘MAS අප සැමවිටම නිර්මාණාත්මක වෙනසක් ඇති කිරීමට කටයුතු කරන ආයතනයක්’’ යනුවෙන් බොඩිලයින් හි අධ්‍යක්ෂ-අලෙවි සහ ව්‍යාපාර සංවර්ධන, දිල්ෂාන් මොහොමඞ් මහතා පැවසුවේය. තෙතමනය ඉක්මනින් ඉවත් කිරීමේ හැකියාව සහ වැඩි සුව පහසු හා මෘදුබවක් සහිත ඉතා සුවපහසු රෙදි වර්ගයක් භාවිතා කර නිර්මාණය කළ ඇඳුම් සමඟින් ඔවුන්ගේ ක‍්‍රීඩා කෞශල්‍ය තව තවත් ඉහළ නැංවීමට ඔවුන්ට උපකාර කිරීමෙන් ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා ක්ෂේත‍්‍රය සඳහා වෙනසක් ඇති කිරීමට මෙවර අපට අවශ්‍ය වුනා.’’

”අප අපගේ කණ්ඩායම්වලට ඔවුන් තරගවලට සහභාගී වීමේදී සහ පුහුණු වීම් කිරීමේදී ඇඳුම් කට්ටල ලබා දීම ගැන පමණක් නොව, SLAA හි නිල ඇඳුම් සහකරු ලෙස අනුග‍්‍රාහකත්වය ලබා දීමට හැකි වීම ගැන ද සතුටු වෙනවා. තවද අපගේ ජාතික මලල ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට ගැලපෙන පරිදි ඔවුන්ගේ අදහස් ලබා ගනිමින් ඔවුන් සමඟ එක්ව සහයෝගයෙන් මෙම ඇඳුම් නිර්මාණය කරමින් වඩාත් උසස් තත්වයේ ඇඟලූම් නිෂ්පාදනය කිරීමට දායකත්වය ලබා දීමට හැකි වීම ගැන අප ඉතා සතුටු වනවා.’’ යනුවෙන් බොඩිලයින් ප‍්‍රධාන විධායක නිලධාරී දිනේෂ් ද සිල්වා මහතා පැවසුවේය.

ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා සභාපති පාලිත ප‍්‍රනාන්දු සහ බොඩිලයින් හි ප‍්‍රධාන විධායක නිලධාරී දිනේෂ් ද සිල්වා යන මහත්වරුන් විසින් MAS සහ SLA අතර ඇති කරගත් මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තබන ලදී.

දකුණු ආසියාවේ විශාලතම ඇඟලූම් තාක්ෂණ සමාගම වන MAS සමූහය ඇඟලූම් සහ රෙදිපිළි නිෂ්පාදනයේ වඩාත්ම පිළිගත් නිර්මාණ-බෙදාහරින්නා වේ. මෙහි 115,000 කට අධික පිරිසක් සේවය කරයි. අද වන විට MAS රටවල් 15 ක් පුරා විලාසිතා සඳහා ප‍්‍රමුඛත්වයක් ගන්නා ස්ථානවල පිහිටුවා ඇති නිෂ්පාදන කර්මාන්තශාලා හරහා තම නිෂ්පාදන සිදු කරනු ලබයි. නිරන්තරයෙන් වෙනස් වන ඉල්ලීම් සපුරාලමින් MAS හි සන්නාම, තාක්ෂණය, FemTech, start-ups සහ ලොව පුරා ඇගළුම් උද්‍යාන ආදිය වේගවත්ව පුළුල් වී ඇත.

Visits: 74