ශ්‍රී ලංකාවේදී ලාභ ලැබූ ඉන්දියන් ඔයිල් ඉන්දියාවේදී රුපියල් කෝටි 1,993ක් පාඩු ලබලා

ඉන්දියාවේ අංක එකේ ඉන්ධන සමාගම වන ඉන්දියන් ඔයිල් සමාගම පසුගිය ජූනි 30 වැනිදායින් අවසන් වූ කාර්තුව සඳහා ඉන්දියානු රුපියල් කෝටි 1,993ක පාඩුවක් ලබා ඇතැයි එම සමාගම පවසයි.

මෙහිදී ඒ සඳහා මූලිකම හේතුව වී ඇත්තේ සිය පිරිවැය ඉහළ යද්දීම දේශීය වෙළෙඳ පොළ සඳහා වට්ටම් මුදලකට ඉන්ධන අලෙවි කිරීම බව සමාගම සඳහන් කර සිටියි. සමාගමේ මූල්‍ය වාර්තාවලට අනුව පසුගිය වසරේ මෙම කාර්තුව තුළදී ඔවුන් රුපියල් කෝටි 5,941 ක ලාභයක් හිමි කරගෙන තිබුණි.

කෙසේ වෙතත් ඉන්දියන් ඔයිල් සමාගමේ මෙහෙයුම් ආදායම් මෙම කාර්තුව තුළදී රුපියල් කෝටි 251,933ක් ලෙස සටහන්ව ඇති අතර, එය පසුගිය වසරේ එම කාර්තුව තුළදී සටහන් වූ රුපියල් කෝටි 155,056ට සාපේක්ෂව 62.4%ක වර්ධනයකි.

අද වන විට ඉන්දියානු ඔයිල් සමාගම එරට තුළ දෛනිකව පිරිපහදුවට ලක් කෙරෙන මිලියන පහක් පමණ වන බොරතෙල් බැරල් ප්‍රමාණයෙන් තුනෙන් පංගුවක් සඳහා දායකත්වය ලබා දෙයි.

ඉන්දියානු රජයේ ඉල්ලීමකට අනුව මෙලෙස ඉන්දියානු ඔයිල් සමාගම වට්ටම් මුදලකට ඉන්ධන වෙළඳ පොළ වෙත නිකුත් කිරීම සිදු කළ බව ඉන්දියානු මාධ්‍ය වාර්තා පවසයි. ඉන්දියාව තුළ ඉහළ යමින් පැවැති උද්ධමනය පාලනය සඳහා රජය ගත් ක්‍රියාමාර්ග වෙත සහාය දීමක් ලෙස මෙම පියවර ගෙන ඇත.

ඉන්දියානු ඔයිල් සමාගමට අමතරව හින්දුස්තාන් පෙට්‍රෝලියම් සහ භාරත් පෙට්‍රෝලියම් කෝපරේෂන් යන සමාගම්ද මෙලෙස පසුගිය මාස කිහිපයේදීම ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිලට වඩා අඩු මිලට ඉන්ධන නිකුත් කිරීම සිදු කර තිබේ.

Visits: 192