කෘෂි යන්ත්‍රෝපකරණ සඳහා ලීසිං පහසුකම් ලබා දීමට HNB හා බ්‍රවුන් එක්වෙයි

හැටන් නැෂනල් බැංකුව, කෘෂි යාන්ත‍්‍රීකරණයේ පුරෝගාමියා ලෙස කිරුළු පළඳමින් දශක ගණනාවක් ගොවි ජනතාවගේ විශ්වාසය දිනූ බ‍්‍රවුන් සහ සමාගම සමඟ අත්වැලි බැඳගනිමින් ඉදිරියේදී මූල්‍ය සහන සහිතව නවීන තාක්ෂණයෙන් යුත් කෘෂි යන්ත්‍රෝපකරණ මිලදී ගැනීමේ අවස්ථාව සලසා දීම අරමුණු කරගනිමින් පසුගියදා ගිවිසුමක් අත්සන් කරන ලදී.

HNB සහ බ‍්‍රවුන් සහ සමාගම අතර ඇති කරගත් මෙම සහයෝගීතාවය මගින් පාරිභෝගිකයින්ට බ‍්‍රවුන්ස් Yanmar සහ බ‍්‍රවුන්ස් World Sumo ගොයම් කපන යන්ත‍්‍ර මෙන්ම TAFE හා Massey Ferguson ට‍්‍රැක්ටර් සඳහා ද සුවිශේෂී මූල්‍ය සහන සහිතව ආකර්ෂණීය ප‍්‍රතිලාභ ලබා ගැනීමේ හැකියාව උදා වී ඇත.

මරදාන, දේවානම්පියතිස්ස මාවතේ පිහිටි බ‍්‍රවුන්ස් කෘෂි අංශ පරිශ‍්‍රයේදී පැවති විශේෂ උත්සවයකදී HNB පාරිභෝගික සේවා, කුඩා හා මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සන්ජේ විජේමාන්න සහ බ‍්‍රවුන් සහ සමාගමේ කෘෂිකාර්මික සහ බර යන්ත්‍රෝපකරණ අංශ ප‍්‍රධාන මෙහෙයුම් නිළධාරී, සංජය නිශ්ශංක යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කෙරිණි.

මේ පිළිබඳව අදහස් දක්වමින් HNB පාරිභෝගික සේවා, කුඩා හා මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සන්ජේ විජේමාන්න මහතා පැවසුවේ ‘’මෙරට ශ‍්‍රම බලකායෙන් 30% කට ආසන්න ප‍්‍රමාණයක් කෘෂිකාර්මික අංශය නියෝජනය කරන අතර එමගින් අනාගතයේදී කෘෂිකාර්මික අවශ්‍යතා සඳහා යන්ත්‍රෝපකරණ ආනයනය කිරීමට වැඩි ප‍්‍රවණතාවක් තිබෙනවා. අදවන විට රටක් ලෙස අප මුහුණ දෙන අභියෝග සැලකිල්ලට ගනිමින් පුළුල් පරාසයක කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ සඳහා ආයෝජනය කිරීමට වඩාත් පහසු සහ වඩාත් වාසිදායක ගෙවීමේ විසඳුම් අපගේ ගනුදෙනුකරුවන් වෙත ලබා දීමට අපි විශේෂයෙන් කටයුතු කර තිබෙනවා. දිවයින පුරා සිටින ගොවීන්ට මෙම අවස්ථාව ලබා දීම සඳහා බ‍්‍රවුන් සමාගම සමඟ අපගේ හවුල්කාරීත්වය නැවත අලූත් කිරීමට ලැබීම ගැන අපි සතුටු වනවා.” යනුවෙනි.

මෙහිදී සෑම පාරිභෝගිකයෙකුගේම ආදායමට ගැලපෙන හා ඔවුන්ගේ අවශ්‍යතාවන්ට සරිලන පරිදි සකස් කළ ආපසු ගෙවීමේ පහසුකම් සහ අවම පොලී අනුපාත සමඟින් ආකර්ෂණීය ලීසිං පැකේජයක් මෙම හවුල්කාරීත්වය මගින් සලසා දී ඇත. HNB ගනුදෙනුකරුවන්ට Prestige Prime ක්‍රෙඩිට් කාඞ්පතක් ද මේ සමඟින් ලබා දෙනු ඇති අතර එය පළමු වසරේ වාර්ෂික ගාස්තු වෙන් නිදහස් කර ඇත. මෙම කාඞ්පත මගින් පාරිභෝගිකයින්ට මෝටර් රථ නිෂ්පාදන, සර්විසින් කිරීමේ සේවා, අමතර කොටස්, ටයර් සහ බැටරි සඳහා අද්විතීය වට්ටම් ලබා දෙනු ඇත.

විශාල පරාසයක මෝටර් රථ අවශ්‍යතා සඳහා සැපයීමට කැපවී සිටින HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් විසින් පාරිභෝගිකයින්ට සහනදායී මිලට වාහන සහ ජීවිත රක්ෂණ යෝජනා ක‍්‍රම හරහා අමතර ප‍්‍රතිලාභ ලබා දෙනු ඇත. මෙයට පාරිභෝගිකයින් සඳහා වට්ටම් සහිත වාහන රක්ෂණ වාරික සහ නොමිලේ ජීවිත රක්ෂණ ආවරණ ද ඇතුළත් වේ.

Visits: 57